(යොහාන් භාසුර)
නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදුකෙරිණි.
එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ නගර මධ්‍යයේ තිබූ විදුලි කණු සහ විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර එමඟින් නගර අලංකරණය තව දුරටත් ඉහළ යනු ඇත.
එමගින් නුගේගොඩ නගරයේ ඉදිකිරීම් හා රුක්රෝපණ ක්‍රියාකාරකම් සදහා තිබූ බාධාවන් බොහොමයක්ම ඉවත්වනු ඇති අතර විදුලි කණු හේතුවෙන් පැවැති බාධාවන්, අවහිරවීම් හා රථවාහන අනතුරු අවම වනු ඇත.
භූගත විදුලි පද්ධතිය හේතුවෙන් විදුලිය බිදවැටීම් ඉතාම අවම වන අතර නඩත්තු කටයුතු ද අවමවීම හේතුවෙන් ‘ලෙකෝ’ සමාගමට වාර්ෂිකව විශාල මුදලක් ඉතිරිකර ගැනීමටද හැකිවේ.
මෙය නියමු ව්‍යාපෘතියක් වුවද නවීණ උපකරණ සහ තාක්ෂණය භාවිතා කරමින් වර්තමාන ලෝකයට මෙන්ම අපේ රටේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සැළසුම් කර තිබීම විශේෂත්වයකි. ව්‍යාපෘතිය මුල සිට අවසානය දක්වාම දේශීය ඉංජිනේරුවන්ගේ සහ කාර්මික ශිල්පීන්ගේ දැනුම හා හැකියාවන් පමණක් භාවිත කිරීම කැපී පෙනේ.
ලංකා විදුලි පුද්ගලික සමාගම (ලෙකෝ) ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය කෝට්ටේ, නුගේගොඩ සහ කැලණිය කලාපයේ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතු`ඵ පිරිසක් නියමු ව්‍යාපෘතිය පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

