නාගරික වනගහණය වැඩිකර හරිත නගර නිර්මාණය කරනවා


 
(බන්දුල ඉලේපෙරුම)

වනගහණය එක පැත්තකට පමණක් සීමා නොකර නාගරික වනගහණය වැඩි කර හරිත නගර නිර්මාණය කිරීමට අවධානය යොමු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් පැවැති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

“රජය මේ වෙනුවෙන් අවධානය යොමුකර නාගරික සංවර්ධන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ ගණනාවක් ඒ සඳහා ක්‍රියාකරනවා. කොළඹ නගරයේ වායු දූෂණයෙන් 60%ක් ප්‍රවාහන පද්ධතිය නිසා සිදුවනවා. කොළඹට එන වාහන සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවධානය යොමුකර තිබෙනවා. සෑම ගෙවත්තකම ඉඩ තියෙන හැම තැනකම ගසක් සිටුවන්න අපි ක්‍රියාත්මක වෙනවා. පරිසරයට හානි කරන කිසි දෙයක් අපි කරන්න බලාපොරොත්තුවක් නෑ. හැමදාම සමාජ මාධ්‍යවල යනවා අක්කර ගණන් ඩෝසර් කරනවා කියලා. මේවා පට්ටපල් බොරු. එහෙම වෙනවා නම් අපිට තැන් ටිකත් එක්ක දෙන්න. අපි හොයලා බලන්නම්. විමලවීර දිසානායක, සී.බී.රත්නායක ඇමැතිවරු ඉන්නවා. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි ඇමැතිවරු 3 දෙනාම එකතුවෙලා වැඩ කරනවා.” යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අවුරුදු ගණනාවක් පරිසරවේදීන් ඉල්ලූ එක් වරක් පාවිච්චි කරන ප්ලාස්ටික් නතර කිරීමේ වැඩපිළිවෙළ ද ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.