නාඋයනේ අරියධම්ම හිමියෝ අපවත් වෙති


නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියෝ අද (7) පෙරවරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ.

පසුගිය දිනවල අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූහ. 

අභිධර්මය සරල ලෙස තේරුම් කරදුන් විචිත්‍ර ධර්ම  කථික හිමි නමක් වූ අරියධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වැනි සඳුදා සිදුකිරීමට නියමිතය.

1939 අප්‍රේල් 24 වැනිදා කුරුණෑගල ඉමිහාමිනේගමදී ජන්ම ලාභය ලැබූ ඒ හිමියෝ නාඋයන ආරණ්‍ය සේනාසනයේ ජ්‍යෙෂ්ඨ භාවනා උපදේශක හිමිනමක් ලෙස දිගු කාලයක් කටයුතු කළහ. 

නිලාගම රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වීගොඩ බෝධිරක්ඛිත හිමියන් යටතේ 1957 මාර්තු 27 වැනිදා පැවිදි දිවියට පත්වූහ.

1959 වසරේ ජූලි 15 වැනිදා උපසම්පදාව ලැබූ අරියධම්ම හිමියෝ ගැටමාන්නේ ශ්‍රී විමලවංශ, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ, දේවගොඩ මංගලසිරි සහ මාතර ශ්‍රී ඥානාරාම යන මහ තෙරවරුන්ගෙන් ඇසුරේ ධර්මය හැදෑරූහ. බුරුමයේ සිට මෙරටට පැමිණ සිටි න්‍යානින්ද සයාදව් හිමියන් යටතේ බුරුම භාෂාවද හැදෑරූ අරියධම්ම හිමියෝ පාලි හා සංස්කෘත භාෂා පිළිබඳවද හසල ඥානයකින් යුතු වූහ. ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහෝපාධ්‍යාය, මහා කම්මට්ඨනාචාර්ය පදවිද උන්වහන්සේ සතු වූහ.

අරියධම්ම හිමියන්ගේ දේහය අද (7) සහ හෙට (8) නාවුල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබෙන අතර 9 සහ 10 දෙදින ගල්දූව ආරණ්‍ය සේනාසනයට දේහය වැඩමවනු ඇත. පසුව අවසන් කටයුතු සිදුවනතෙක් උන්වහන්සේගේ දේහය 11 සහ 12 දෙදින කොළඹ ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇත.

webNauyane_ariyadhamma_mahathera