නවසීලන්ත අගමැති ලංකාවට


නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් සිංගප්පුරු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින්  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද අළුයම  දිවයිනට පැමිණියේය.

 තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාව ගුවන් යානය පා මුලදී කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල් දම් පළඳවා පිළිගත් අතර අග්‍රාමාත්‍ය වරයාද එම දරුවන්ට ත්‍යාග පිරිනමා සුභ පැතුවේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෝන් කී මහතාව ඉතා උනුසුම් අයුරින් පිළිගෙන   ගුවන් හමුදා උත්තමාචාර මැද රතුපලස මතින්   විශේෂ අමුත්තන් අත්සන තබන ස්වර්ණමය පුස්තකය වෙත කැඳවාගෙන ගියේය. එහිදී ජෝන් කී මහතා ස්වර්ණමය පුස්තකයෙහි සිය අත්සන තැබීය.

 තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන 26 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර  අග්‍රාමාත්‍ය ජෝන් කී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි.

නවසීලන්ත අගමැතිවරයා සමග පැමිණි එරට වෙළඳ නියෝජිතයන් 25 වනදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇමතීමට නියමිතයි.

සංචාරය අතරතුර නවසීලන්ත අගමැති ජෝන් කී  මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන දරනු ඇත.

.මෙම  සංචාරය අතරතුරදී නවසීලන්ත - ශ‍්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට නියමිත අතර එතුළින් දෙරට අතර නව ව්‍යාපාරික සබඳතා බිහිවනු ඇති බවට රජය විශ්වාස කරයි. 

 

 1  4 5 7 8 11 15 16 17 18 DSCF6631