(රංජන් කස්තුරි)
උපාධි පිරිනමන පෞද්ගලික ආයතන දෙකකට නව උපාධි පාඨමාලා අටක් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.
ඒ අනුව එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සහ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය එම අවසර හිමි වී තිබේ.
එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට මීට ඉහතදී මානව සම්පත් කළමනාකරණ පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය පිරිනැමීමට අවසර ලබාදී තිබෙන අතර මෙවර තවත් උපාධි පාඨමාලා පහක් සඳහා අවසර ලබා දී තිබේ.
ඒ අනුව සංචාරක හා සංචාරක කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී , ඉ - සංචාරක හා ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) , යන්ත්‍ර විද්‍යුත් පිළිබඳ ඉංජිනේරු විද්‍යා (ගෞරව) සහ කෘෂිකාර්මික තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී (ගෞරව) උපාධි පාඨමාලා පැවැත්වීමේ අවසරය එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හිමි වී තිබේ.
සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය මේ වනවිට ඉංග්‍රීසි ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ලබාදෙන අතර තවත් උපාධි පාඨමාලා තුනත් සඳහා ආයතනයට අවසරය ලබාදී ඇත.
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව , ව්‍යාපාර හා කාර්මික ගණිතය පිළිබඳ විද්‍යාවේදී ගෞරව සහ බැංකු කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව යන උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට අවසර ලැබී තිබේ.
එම ආයතන දෙකට එකී උපාධි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදෙමින් උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

