ධීවරයෝ 54 ක් ආපසු ගෙදර යති


අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවලින් පසු රඳවාගෙන සිටි ඉන්දීය ධීවරයින් 51ක් හා ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු යළි සිය රටට යැවීමට පියවර ගත් බව ධීවර බලධාරීහු කියති.
පසුගිය මාස පහක කාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩු ධීවරයින් 51 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යළි ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී ඉන්දීය වෙරළාරක්ෂක හමුදාවට බාර දෙනු ලැබූහ.
ඒ ආකාරයෙන්ම චෙන්නායි නුවර පුසාල් බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදුන් බව රාමනාදන්පුරම් හි ධීවර නියෝජ්‍ය අධ්‍යක්ෂ කසිනාත පන්ඩියන් පැවසීය. එම ධීවරයින් තිදෙනා මුහුදු ගොස් සිටිය දී ඔවුන්ගේ බෝට්ටුවේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා ගමන්කර තිබීම නිසා අත්අඩංගුවට පත්ව ඇත.
2016 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දියාවේ ටුටිකොරින්, පුදුකොට්ටායි සහ රාමනාදන්පුරම් දිස්ත්‍රික්කවල ධීවරයින් 51 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල රඳවා තබනු ලැබූහ.
දෙරටේ බලධාරීන් කොළඹදී හමුවී කළ සාකච්ඡා අනුව ඔවුන් පසුගිය ජනවාරි 6 වැනිදා නිදහස් කරනු ලැබූහ. 
ඉන්දීය නියෝජිත මණ්ඩලය එරට කෘෂිකර්ම ඇමැති රාධා මොහාන් සිං මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 2 වැනිදා සාකච්ඡාවට එක්වූ අතර එහිදී ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනා නිදහස් කරන බවට පොරොන්දු වීමෙන් පසු මෙරට ඇති විශාල ප්‍රමාණයක ධීවර බෝට්ටුද ආපසු ලබාදීමට එකඟවූ බවත් වාර්තාවේ.
මේ අතර කච්චතිව් දූපතින් මෙහා සීමාවට පැමිණි 2000කට ආසන්න ධීවර පිරිසක් අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපසු හරවා යවනු ලැබ ඇතැයි රාමේෂ්වරම් ධීවර සංගමයේ නියෝජිතයකු වන සගයාම් මහතා පවසයි.