ශ්‍රී ලංකා ධීවර සංස්ථාව ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් මිලියනයක ලාභයක් උපයා ඇතැයි එහි සභාපති ජගත් පෙරේරා මහතා අද (13) පැවැසීය.
ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මේ වසරේදී රුපියල් මිලියන 72 ක ශුද්ධ ලාභයක් අපේක්ෂා කරන බව ද ජගත් පෙරේරා මහතා කීය. ධීවර සංස්ථාව පසුගිය ජනවාරි මාසයේදී රුපියල් මිලියන 1.1 ක ලාභයක් ලබා ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් එහි අවසාන ගිණුම් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බවත් ධීවර සංස්ථාවේ සභාපතිවරයා තවදුරටත් කීවේය.
වසර 1964 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ධීවර සංස්ථාව පසුගිය වසර 50 කට ආසන්න කාලයක් තුළ කිසිදු ලාභයක් ලබා නැතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉකුත් දිනෙක පැවැසීය.
පාඩු ලබන තත්ත්වයේ පැවැති ධීවර සංස්ථාවට නව කළමනාකාරීත්වයක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා කටයුතු කළ අතර ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද කීය.
මේ වසරේදී නව ධීවර අලෙවි සැල් 30 ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පසුගිය වසරේ අවසාන මාස දෙක තුළ දිස්ත්‍රික්ක කිහිපයක නව ධීවර අලෙවි සැල් 12ක් ආරම්භ කළ බව ද සඳහන් කළේය.
ධීවර සංස්ථාව පසුගිය වසරේ අවසන් මාස දෙක තුළ රුපියල් මිලියන 1.6 ක ලාභයක් ඉපැයූ බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

