ධීවර සංස්ථා අගෝස්තු වැටුප මාළු ආදායමෙන් ගෙවයි


ධීවර සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ පළමු වරට සංස්ථාවේ මුදලින් වැටුප ගෙවූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. 

ධීවර සංස්ථාවේ මාළු අලෙවියෙන් ලද ආදායම්වලින් අගෝස්තු මාසයේ වැටුප් ගෙවීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි.  

මේ වසරේ මුල් මාස හතක කාලයේදී ධීවර සංස්ථාවේ වියදම් පියවූයේ මහ භාණ්ඩාගාරයෙන් ගත් මුදලින් යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි. 

ධීවර සංස්ථාවේ අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පමණක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මහ භාණ්ඩාගරයෙන් ගෙන තිබූ මුදල රුපියල් ලක්ෂ 2100ක් යැයි ද පැවසේ. 

  පසුගිය ආණ්ඩුව සමයේදී ධීවර සංස්ථාවේ සියලු සේවකයන් ස්ථීර කිරීමට ගත් තීරණය නිසා නියමිතව තිබූ සේවකයන් 735 ඉක්වමින් ධීවර සංස්ථාවට ස්ථීර සේවකයන් 1100ක් පත් වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණි. 

එසේ වුවද ධීවර සංස්ථාව සේවකයන් ප්‍රමාණය 415 දෙනකුගෙන් පවත්වාගෙන යා හැකි බව අනාවරණය වූ බව ද මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර අවස්ථාවකදි කියා සිටියේය. 

සේවක අර්ථ සාධක අරමුදල් පියවීමට, ණය හා වැටුප් ආදී වියදම් පියවීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 8000ක ආසන්න මුදලක් ගත් බව ද අමරවීර මහතා එහිදි පැවැසීය.