ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ධීවර නියෝජිත කණ්ඩායමක් අද (31) ඉන්දියාවට පිටත්වීමට නියමිතය.
උතුරේ ධීවරයන් නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් දස දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්වන අතර ධීවර අමාත්‍යාංශ නිලධාරියකු ඇතුළු පිරිසක්ද මෙම සංචාරයට එක්වෙති.
ඔවුන් තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් සමඟ නවදිල්ලි නුවරදී සාකච්ඡා පැවැත්වීමෙන් පසු වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වීමට ද නියමිතය.
ඉන්දීය ධීවරයන් නීතිවිරෝධි ලෙස උතුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් නොවැම්බර් මස 2 වැනිදා මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන්දීය ධීවරයන් මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම නිසා ඇති ව තිබෙන අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට එරට විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් ඇතුළු අමාත්‍යවරු පිරිසක් එරට ධීවර නියෝජතයන් සමඟ මීට පෙර සාකච්ඡා පවත්වා තිබිණි.
මෙම සාකච්ඡාවලින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නොවැම්බර් 3 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදි මධ්‍යම රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වෙනු ඇත.
එම සාකච්ඡාවලට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, එරට කෘෂිකර්ම අමාත්‍ය රාධා මොහාන් සිං ඇතුළු දෙරටේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වෙති.