ධාවනය වු ලොරියක් නවතා තිබු ට්‍රැක්ටරයක ගැටී අයෙක් මරුට: 4 ක් රෝහලට


( සිතුම් චතුරංග)


යාපනය- මහනුවර ඒ නවය මාර්ගයේ පුලියංකුලම ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනයවූ ලොරි රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටී අද (18) සිදු වු අනතුරකින්  පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පුලියංකුලම පොලිසිය පවසයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් ගොයම් කපන යන්ත්‍රයක් රැගෙනයමින් තිබූ ට්‍රැක්ටර් රථය මාර්ගයේ නවතා තිබියදී කොළඹ සිට යාපනය දක්වා පානීය ජලබෝතල් රැගෙන පැමිණි ලොරි රථය ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.


මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ රිය සහයකවරයාවූ යාපනය පේදුරුතුඩුව පදිංචි මරියදාස් නිශාන්තන් (20)  නැමති තරුණයෙකි.


අනතුරින් ලොරි රියදුරුවූ, ට්‍රැක්ටර් රථයේ රියදුරු , ට්‍රැක්ටර් රථයේ සිටි  තවත් තරුණයන් දෙදෙනකු තුවාල ලබා වවුනිවාව මහ රෝහලට ඇතුළු කර ඇත.


ලොරි රථ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව  ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහරෝහලේ පැවැත්වීමට නියමිතව තිබුණි.
පුලියංකුලම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.