ධම්මික පන්නන්න හේතුව නිදහස් සේවක සංගමය කියයි


(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් පෞද්ගලික දුරකථන සමාගමක් සමඟ එකතුව ක්‍රියාත්මක කළ දුම්රිය මාර්ගයේ කේබල් ඇදීමේ වංචනික ගණුදෙනුවක් නතර කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට හේතුව බව ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් පවසයි.

අදාල ගණුදෙනුවේදී අදාල පෞද්ගලික දුරකථන සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 14 ක ආදායමක් දීමට එකඟව තිබුණ ද අදාල ව්‍යාපෘතියෙන් එම දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 700 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි යැයි ධම්මික ජයසුන්දර මහතා පැවසූ බවත් අදාල ගණුදෙනුව නිසික්‍රමවේදයට ගිවිසුම්ගතව කළ යුතු යැයි පවසා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනිත් ලංකාගේ මහතාගේ අස්සනින් යොමු කර ඇති ලිපියේ සඳහන් වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කර ඇති බවත් කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරියකු ලිඛිත නියෝගයක් දෙන්නේ නම් ව්‍යාපෘතියට අනුමැතිය දෙන්නේ යැයි ජයසුන්දර මහතා පවසා ඇති බවත් එම ලිපියේ කියවේ.