දොස්තරවරියයි, රියදුරු සහයකයි මරුට


පුත්තලම, හලාවත මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී ලොරියක් හා ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වෛද්‍යවරියක් ඇතුළු දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

18 වැනිදා අළුයම 3.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව මුන්දලම පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම මූලික රෝහලේ සීමා වාසික වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටි ශ්‍රී සුදසිංහ රත්න බණ්ඩාරලාගේ දෝන ක්‍රිෂාණි එරංගා ජයවර්ධන (අවු:26)  සහ කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයේ රිය සහායක ලෙස සේවය කළ ඒ.එච්.එම්.ඉර්ෂාඩ් නම් අයෙකි.

තුවාල ලබා ඇති පුත්තලම මූලික රෝහලේ හෙද නිලධාරිණීයක ලෙස සේවය කරන වන්නිනායක මුදියන්සේලාගේ එරංගා හංසනී (අවු:25),සාත්තු සේවිකාවක් ලෙස සේවය කරන එච්.එම්.තිලකාවතී සහ කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරු ලෙස සේවය කරන ඒ.එච්.එම්.කේ.අබේසිංහ නම් අයෙකි.හලාවත මහා රෝහලට ඇතුළත් කරන ලද රෝගීන් අතරින් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකුව කොළඹ රිජ්වේ ළමා රෝහලට ගෙන ගොස්  ආපසු පුත්තලම බලා ගමන් කරමින් සිටින අතර තුර ගිලන් රථය මෙම අනතුරට මුහුණ දී ඇත.අනතුරට පත් ගිලන් රථය කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහලට අයත් එකකි.

ගිලන් රථයේ ගැටී ඇති ලොරියේ වේදිකා භාණ්ඩ පටවා තිබුණි.එය කිලිනොච්චියේ සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇත.

ගිලන් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.

මුන්දලම පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

(ඡායාරූප ජුඩ් සමන්ත සහ එච්.සී චන්දන) 10 11 IMG_0936 IMG_0951 IMG_0952