දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්


(රෝෂන් තුෂාර)

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින්  කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළේය.

අදාල චෝදනාවන්ට වරද පිළිගන්නා බවට සැකකාර තරුණයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම දඬුවම නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් තුන්දහසක දඩයක්ද නියම කළේය.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා රහස් පොලිසියේ පරිගණක විශේෂ විමර්ශන ඒකකය මගින්  අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පැමිණිලිකාර වෛද්‍යවරයා ගේ සහායිකාව මාර්ගයෙන් වෛද්‍යවරයාගේ දුරකථන දත්ත ඇතුළත් චීපයක්  සොරා ගෙන ඇති සැකකරු එම චීපයේ තිබූ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කොට කප්පම් ඉල්ලා ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සැකකරුට චෝදනා දෙකක් ඉදිරිපත් කොට තිබූ අතර අදාල චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම මාස හය බැගින් වූ  ලිහිල් දඬුවම නියම කර එය අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.