දේහය වෙද සිසුන්ට : අවමගුල් වියදමෙන් දුප්පතකුට ගෙයක්


කොළඹ බෞද්ධාලෝක මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික නිට්ටඹුව ගුරු ඇබෑසි විදුහලේ හිටපු කථිකාචාර්ය ආචාර්ය හාරිස්පත්තුවේ ආරියවංශාලාංකාර නා හිමියන්ගේ  දේහය  අද (23) යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට බාර දුන්නේය.

ඒ හිමියන්  වැඩ සිටි අවදියේ කළ ඉල්ලීමක් අනුවය. එතෙක් දේහය තැන්පත් කර තිබුණේ මේසයක් මතය. අදාහන පූජෝත්සවයට වියදම් කරන මුදලින් දුප්පතකුට නිවසක් සාදා දෙන්නැයි ආරියවංශාලංකාර හිමියන්ගේ ඉල්ලීම විය.

විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ ඒ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පෙර දින සිට විශාල පිරිසක් ආහ. මහින්ද රාජපක්ෂ  ජනපති ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ   ද ඒ අතර වූහ.

දේහය බාර දෙන අවස්ථාවේ ද නාහිමියනට අවසන් ගෞරව දැක්වීමට යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයට විශාල පිරිසක් ආහ.

ධර්මසේන ආරියතිලක ඒ හිමියන්ගේ ගිහි නමයි. මහනුවර හාරිස්පත්තුවෙ  මාරුද්දන ගමේ උපන් ධර්මසේනගේ පියා ව්‍යාපාරිකයෙකි.

ධර්මසේන ආරියතිලක වයස අවුරුදු 15 සිට බ්‍රහ්මචාරි දිවියක් ගත කළේය. අවයස අවුරුදු 15 දී දහම් පාසල් ධර්මාචාර්ය විභාගය සමත් වූ ඔහු ජ්‍යෙෂ්ඨ පාඨෂාලා සහතික පත්‍ර විභාගය සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම සමත් විය. ජ්‍යෙෂ්ඨය සමත් තවත් කිහිප දෙනකු සමග ගමේ පාසලක් පටන් ගත් අතර මුලින් ළමයින් 18 දෙනකු ඊට ඇතුළු විය. කෙටි කාලයක් ඇතුළත ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් 80 දෙනෙක් ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට ආහ.

ධර්මසේන ආරියතිලකට වයස අවුරුදු 18ක් පමණ වන විට පාසල රජයට බාර දුන් අතර එහි සේවය කළ ජ්‍යෙෂ්ඨය සමත් පිරිසට ආණ්ඩුවේ ගුරු පත්වීම් ලැබිණි.

ආරියතිලක සිය වැටුපෙන් වැඩි මුදලක් වැය කළේ පවුලේ නඩත්තුව වෙනුවෙනි.

කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයයෙන් බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී ශ්‍රාස්ත්‍රවේදී උපාධියත් අනතුරුව ශාස්තපති උපාධියත් දිනා ගැනීමට ආරියතිලක සමත් විය.

ගුරු වෘත්තියේ යෙදෙද්දී සෑම නිවාඩුවකටම තාව කාලික පැවිදි දිවියට ඇතුළු වීමට පුරුද්දක් කරගෙන සිටියේය.

 ධර්මසේන ආරියතිලක අවස්ථා ගණනාවක දී පැවිදිව නැවත උපවැදි වී ඇත.  

2000 වසරේ දී අවසන් වරට පැවිදි වී අපවත්වන තෙක් විශාල ශාසනික මෙහෙයක් ඉටු කළහ.

හාරිස්පත්තුවේ ආරියවංශාලංකාර හිමියෝ ආචාර්ය උපාධිය ලබා ගත්තේ වයස අවුරුදු 74 දීය.

අල්පේච්ඡ දිවියක් ගත කළ ඒ හිමියෝ භාවිත කළේ සිවුරු දෙකක් පමණි. ලැබෙන බොහෝ දෑ දුප්පත් පන්සල්වලට පරිත්‍යාග කළහ.

කලකට පෙර වකුගඩුවක් දන් දුන් ඒ හිමියෝ තමන්ගේ විශ්‍රාම වැටුපෙන් දුප්පතුනට උදව් කළහ.