යුද සමයේ මානව හිමිකම් කඩවීයැයි කියන චෝනදා ගැන දේශීය පරීක්ෂණය ලබන ජූනියේ දී ආරම්භ කර සැප්තැබ්මරයේ අවසන් කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය.
විදේශ පරීක්ෂණයකට රජය අකමැති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්ට පැවසූ බවත්, ඔහු එය පිළිගත් බවත් ජනපති කීවේය.
සිරිසේන මහතා මෙසේ ද කීවේය.
‘විල්පත්තු රක්ෂිතය එළි කිරීම වැරදියි. කිසිම රක්ෂිතයක් එළි නොකළ යුතුයි. වනාන්තර කැපීම නතර කළ යුතුයි. අවතැන්වූවන් හා දෙවැනි තෙවැනි පරපුරේ අයට ඉඩම් දිය යුතු බව ඇත්ත. ඒත් රක්ෂිත ඒ සඳහා පාවිච්චි කළ නොහැකියි. එසේ නොකළ යුතුයි.
විල්පත්තු පැත්තේ නැවත පදිංචි කරවා ඇත්තේ ගිය රජය යටතේ ඉඩම් පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ මතයි. මේ ගැන පරීක්ෂණ පැවැත්වෙනවා.
මහා පරිමානයේ වංචා ගැන සෙවීමට පත් කළ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවන්නේ නැහැ. එහෙම විසිරුවන බවක් මා කීවෙත් නෑ. එම කොට්ඨාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයේ එක් වගන්තියක් වෙනස් කළ යුතු බව මා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කළා.
ව්‍යවස්ථා දායක සභාව ළඟදී පිහිටුවනවා. ලබන මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය ගැන පක්ෂ අතර ප්‍රශ්න තිබෙනවා. මනාප ක්‍රමය ඉවත් කළ යුතු ද නැද්ද එවැනි ප්‍රශ්නයක්. ඒ ගැන අදත් හෙටත් (20,21) සාකච්ඡා කරනවා.
ලබන ඡන්දය වෙනුවෙන් මේ සතියේ ම නාමයෝජනා කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ගැන ජනාධිපති කාර්යාලයය වෙනම පරීක්ෂණයක් පවත්වනවා. (බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ බෑණාගේ සමාගමට අනිසි ආකාරයෙන් බැඳුම්කර වෙන්දේසි කළ බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයෙදී ඔහු ඊට සෘජුවම සම්බන්ධ නැතැයි අගමැතිට වාර්තා කර තිබිණි.)‘

