දේශීය ණය යෝජනාව සම්මතයි


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරුවේ වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට විරුද්ධවය.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යෝජනාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළේය. යෝජනාව පිළිබඳ විවාදය උදේ 9.30 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්විණ.

මේ අතර අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධයක නිරතවීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවිය. එහෙත් ඒ උණුසුම මැද ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා කටයුතු කළේය.