දේශීය - විදේශීය සහල් වලට උපරිම මිල දෙකක්


වෙළදපොළේ කිසිවිටකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සදහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනපතිවරයාත් සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනපතිවරයා මේ බව කීවේය. 

සහල් ආනයනයේදී ලබාදී ඇති බදු සහනය උපරිම අයුරින් පොදු ජනතාව වෙත ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

වෙළෙදපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සහන මිලකට සහල් ලබාදීම සියලූදෙනාගේ වගකීමක් බව ද කී ජනපති සිරිසේන මහතා දේශීය සහ විදේශීය සහල් සඳහා උපරිම මිල දෙකක් නියම කිරීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම අවශ්‍ය ඕනෑම අවස්ථාවක භාවිතයට ගත හැකිවන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රජය සතු ගබඩාවල පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට  උපදෙස් දෙනු ලැබීය.