දේශබන්දු කමිටුව 16සිට දිගටම වැඩ




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැඩ තහනමට ලක් කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   මහතාට  එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන ත්‍රිපුද්ගල මැතිසභා කමිටුව ලබන 16 සඳුදා සිට  දිනපතා රැස්වීමට  තීරණය කළේය.

මෙම කමිටුවේ අවසන් වාර්තාව ලබන මාසයේදී කතානායකවරයාට බාරදීමට නියමිතය.

එම වාර්තාව බාරදීමෙන් පසු පොලිස්පතිවරයා නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව සලකා බැලෙනු ඇත

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කරන ලදැයි පැවසෙන  විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂිකරුවන් සිවුදෙනෙක් පෙරේදා සාක්ෂි ලබා දුන්හ.

තවත් සාක්ෂිකරුවන් විශාල පිරිසක් එම කමිටුව හමුවට ඉදිරි දිනවල කැඳවෙනු ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂි කරුවන්ගෙන් හරස් ප්‍රශ්න විමසුහ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු  සහ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නීල් ඉද්දවල සහ හිටපු මහා අධිකරණ විනිසුරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරති.