
(අංජුල මහික වීරරත්න)
වසර හතළිහක් තිස්සේ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අත දුන් යෞවන සමාජ වල වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්නය දෙපාර්ශවය සාකච්ඡා කොට විසඳා ගන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.
උද්ගතව ඇති ප්‍රශ්නය ගැන සියලු දෙනා සෑහීමකට පත්වන විසැඳුමකට නොපැමිණිය හොත් යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කීය.
යෞවන සමාජ ව්‍යාපාරයේ වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න සහගත බව පිළිබඳව හිටපු ජනාධිපති මෙන්ම යෞවන සමාජ ව්‍යාපාරයේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ ඉල්ලීමකට අනුව මීට වසර හතළිහකට පමණ පෙර මම යෞවන සමාජ ආරම්භ කළා. ගමේ යෞවන යෞවනියන්ට එක් රැස්වන ස්ථානයක් විනෝදාංශයට, කලාවට, මෙන්ම වෙනත් වැඩ කටයුතු සඳහා ඒ යෞවන සමාජ මාර්ගයෙන් තරුණ දක්ෂතා සහ හැකියා දියුණු කිරීම මා බලාපොරොත්තු වූ මූලික කාරණයයි.ඒ කාරණය බොහෝ සාර්ථක වී තිබෙනවා.
මේ වන විට සමාජයේ නොයෙක් ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් සහභාගී වෙනවා.
මේ වසර හතළිහ ඇතුළත යෞවන සමාජ මේ රටේ ප්‍රධාන තරුණ ව්‍යාපාරය බවට පත්ව තිබෙනවා.යෞවන සමාජ වලින් ඉදිරිපත් වූ සමහර අය දේශපාලනයට පැමිණ තිබෙනවා.සමහර අය ව්‍යාපාර වල ඉන්නවා.මේ සියලු දෙනාම ඒ වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් සහය දෙනවා.
ලඟදී අමාත්‍යවරයා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වී තිබෙනවා.හැම තැනකම උද්ඝෝෂණ පැවැත්වෙනවා.
දැනට ජාතික සම්මේලනය පැවැත්වෙනවා. මට ආරංචි හැටියට ඊට පසුවත් උද්ඝෝෂණ පවත්වන්නට යනවා.මෙහෙම ගියොත් යෞවන සමාජ ව්‍යාපාරය පිරිහීමට පත්වේවි.යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සඳහා අදාල සංශෝධන ගෙනැවිත් තිබෙන බව උද්ඝෝෂණය කරන අය පවසනවා.
මේ ප්‍රශ්නය දුරදිග ගෙනයන්නේ නැතිව විසඳාගත යුතුයි.
මෙලෙස උද්ඝෝෂණ කරන හිටපු නිලධාරී කණ්ඩායම මෙන්ම දැනට පත්ව සිටින දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් සමග සාකච්ඡා කොට සියලු දෙනා සෑහීමකට පත්වෙන විසැඳුමක් ලබා දෙන්න.
මේ රටේ යෞවන සමාජ දේශපාලනය සඳහා යොදා නොගන්නා බව අප සියලු දෙනාම දැනගත යුතුයි.එය ඇමැතිතුමාටත් මේ කණ්ඩායම් දෙකටත් එකට එකතු වෙලා කරගන්න පුළුවන් වැඩ කටයුත්තක්.එම කාර්යය නොකෙරුනොත් මේ උද්ඝෝෂණ දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වෙනවා.එවිට මේවාට දේශපාලන පක්ෂයත් ඇතුල් වෙන්න පුළුවන්.එහෙම වුනොත් මේ යෞවන සමාජ ව්‍යාපාරය නැති වී යාවි.මට අවශ්‍ය වී තිබෙන්නේ මේ යෞවන සමාජ ව්‍යාපාරය ආරක්ෂා කිරීමයි.මේ කෙටි පණිවිඩය ඔබට ලබා දීමට තීරණය කළේ ඒ නිසයි යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

