දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී


 (ආරියරත්න රණබාහු)

විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.

දැනට විභාග වන නඩු වලදී සිදුවිය හැකි එකම දේ හිරේ යෑම පමණක් බවත් කිසිවකු එල්ලා මරා දමන්නේ නැතැ බවත් කී මන්ත්‍රීවරයා මෙම දේශපාලන පළිගැනීම් වෙනුවෙන් ජනතාව මිළඟ මැතිවරණයේදී ආණ්ඩුවට පාඩම් උගන්වනු ඇතැයි ද කීය.

සොහොන් කොත් හාරදහසක් පන්දහසක් ඉදිකළ යුතු යුගය හමාර කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පියා වෙනුවෙන් ඉදිකළ සොහොන නඩුවකට පටලවා ඇති බවද මන්ත්‍රීවරයා කීය.

ආණ්ඩුවේ ප්‍රධානීන් අතර අර්බුදයක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති බව කී ප්‍රේම ජයන්ත මහතා ශ්‍රීලනීපයේ 23 දෙනා සහ පාර්ලිමේන්තුවේ ඇති නාමික විපක්ෂය සමඟ ආණ්ඩුව කරගෙන යන බවද කීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

ඡායාරූප   චතුර එස් .කොඩිකාර