දේව මෙහෙය අස්සේ පල්ලියට රිංගන්න හැදූ අයෙක් මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දේවමෙහෙය පැවැත්වෙන අතරවාරයේ දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියමින් ඉමිටියාස් නැමැති පුද්ගලයෙක් වෙරළබඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 46 හැවිරිදි අයෙකි.

ගීතිකා ඇසීමට ඇති ආසාව නිසා තමා දේවස්ථානයට ඇතුළු වීමට පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි කියති.

සාන්ත අන්තෝනි දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය මෙම මස 13 වැනි දාට යෙදී ඇති බැවින් ඊට සමගාමීව දේව මෙහෙයන් සෑම දිනකම පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව පෙරේදා දින එම දේවමෙහෙයන් පැවැත්වෙන අතරවාරයේ මෙම සැකකරු දේවස්ථානය තුළට ඇතුළුවීමට පැමිණි අවස්ථාවේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සන්තකයේ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී පොලිස් භාරයට ගෙන ඇත.