දෙවැනි සුපිරි මගත් බලන්න එති


 ශ‍්‍රී ලංකාවේ දෙවැනි අදිවේගී මාර්ගය වන කොළඹ කටුනායක අදි වේගි මාර්ගය බැලීමට පැමිණි පිරිස් අද එහි  සිත්සේ  ගමන් කළහ.

අද උදෑසන පෑලියගොඩ  සහ කටුනායක යන ප‍්‍රධාන පිවිසුම් මාර්ග වලින්  අදිවේගී මාර්ගයට  ඇතුළු වු  ජනතාව  මාර්ගය දෙපස සිරි නරඹමින් සිත් සේ සතුටු වූහ. ඇතැමෙක්  අදි වේගී මාර්ගය අයිනේ ඇති කලපුවට බැස විනෝද වූ අතර තවකෙකු තුරු සෙවනේ රැදෙමින් එහි කාලය ගත කළහ.

තරුණයින් පාපැදි වලින්  එහා මෙහා ගිය අතර බොහෝ පිරිස් ඉතා උනන්දුවෙන් එහි පයින් ගමන් කරනු දැකිය හැකි විය.

අද පෙරවරුවේ  පෑලියගොඩ  සිට කටුනායක දක්වා වු  මැරතන් සහ පා පැදි දාවන තරග වලින් අනතුරුව   එය  ජනතාවට විවෘත විය.  අද සිට ලබන 24 වෙනිදා දක්වා  ජනතාවට අදි වේගී මාර්ගයේ පාගමනින් යා හැකි අතර රථවාහන ඇතුළු කිරීමට ඉඩ නොලැබේ.  

මෙම තෙදින තුළ අදිවේගී මාර්ගයට පැමණෙන  ජනතාව වෙනුවෙන් විවිධ සංස්කෘතික අංග සහ වැඩසටහන් ක‍්‍රියාත්මක  වෙයි.

අද උදෑසන නවයට බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතංග මහතා විසින් ජාතික කොඩිය ඔසවා පාපැදි තරගය ආරම්භ කළ අතර  නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එහි අවසානය සනිටුහන් කළේය.

කොළඹ කටුනායක අදි වේගී මාර්ගයේ  දිග  කිලෝමීටර් 25.8 කි.   මං තීරු 6 කින්  සමන්විත මෙහි   පැයට කිලෝ මීටර 100 ක ධාවන  වේගයෙන් ගමන්  කළ හැක.  පෑලියගොඩ සිට කටුනායකට යාමට ගතවන්නේ විනාඩි 20 කි.

පෑලියගොඩ, කෙරවලපිටිය, ජා ඇල සහ කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4 කි.

මීට වසර ගනනාවකට පෙර මෙහි ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර පසුව විවිධ හේතු මත අතර මග නතර වි ඇත.  පසුව   යළි ඉදිකිරීම් කටයුතු අරඹා ඇත්තේ  ආර්තික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත 2008 වසරේදීයි.  

චීන  ණය ආදාර යටතේ ඉදිවු මෙයට වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350 කි. 

මෙය  ලබන 27 වෙනිදා  ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය.