දෙරණ රූපවාහිනියේ ‘‘දෙරණ සිහින තරුව’’ ලෙස රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප‍්‍රමාණයක් ලබා කිරුළ පැළඳු ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක සිය ගම් ප‍්‍රදේශයට 13දා සන්ධ්‍යාවේ පැමිණියේ දහස් සංඛ්‍යාත රසිකයන්, සහ ඔහුට උදව්කළ හිතවතුන් පිරිවරාගෙන ඔවුන්ගේ පීත්‍රී ඝෝෂා මැද්දේය.
රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා යාමට ඔහුට දස පැයක් ගත විය.ඔහුගේ රසිකයෝ මඟ දෙපස පෙළ ගැසී ඔල්වරසන් දෙමින් ඔහු පිළිගත්හ. ධනුෂ්ක පැමිණියේ විශේෂ යතුරු පැදි පෙරටු කැරගත් රිය පෙරහරකිනි.
ධනුෂ්කගේ මෙම ජයග‍්‍රාහී ගමන සඳහා ඔහුට සුවිශේෂී දායකත්වයක් දුන් ඇඹිලිපිටිය නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ලසන්ත සිරිපුර, සබරගමුව පළත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිස් ඔහු සමග රථ පෙළපාළියේ ආහ.
විවෘත ජීප් රියක නැඟී සිටි ධනුෂ්ක තමන් හිමි කරගත් ‘‘දෙරණ සිහින තරුව’’ කුසලානය ද ප‍්‍රදර්ශනය කරමිනි. වාහන සියයකට වඩා ප‍්‍රමාණයක් පෙළපාළියේ පැමිණියේය.
පෙරවරු නවයට පමණ රත්නපුර සබරගමු මහ සමන් දේවාලයට පැමිණ විශේෂ දේව පුජාවක් පවත්වා මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබ රථ පෙරහර පිටත්විය. රත්නපුර නගරයට පෙරවරු 11 ට පමණ පෙරහර පැමිණි අතර පස්වරු 01.30ට වනවිට පැල්මඩුල්ල නගරයට ළඟා විය. කහවත්ත, ගොඩකවෙල සහ පල්ලේබැද්ද යන ස්ථානවලද පිළිගැනීම් පැවැත්විණි.
සවස පහට පමණ උඩවලව හන්දියේදී සබරගමු පළාත් සභා මන්ත‍්‍රී හේෂා විතාන මහතා ඇතුළු පිරිස් විසින් ධනුෂ්ක පිළි ගනු ලැබුහ. එහි වු විවෘත වේදිකාවේ ගීතයක් ගායනාකර පැමිණ සිටි පිරිසට සමුදී යළිත් විවෘත රථයේ නැඟී පිටත්විය.
උඩවලව හන්දියේ සිට ඇඹිලිපිටිය දක්වා මග දෙපස ද ඔහුගේ රසිකයෝ වුහ. උඩවලවේ සිට ඇඹිලිපිටිය දක්වා පැමිණිමට පැය දෙක හමාරක් පමණ ගතවිය.
ඇඹිලිපිටිය හිඟුරආර ශ‍්‍රී බෝධිරාජ විහාරස්ථානය අසල පිළිගැනිමෙන් පසු ඔහු බෝධිරා විහාරස්ථානයේ බුදු මැදුරට මල්වට්ටියක් පිදීය.
ඇඹිලිපිටිය කාවන්තිස්ස විහාරස්ථානය අසලදි රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනි රෝහණ කොඩිතුවක්කු මහතා මල් මාලයක් පළඳවා ධනුෂ්ක පිළිත්තේය. ඇඹිලිපිටිය නගර සභාපති වේවැල්දුවේ ඥානප‍්‍රභ හිමි, ඇඹිලිපිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා ද ඊට එක්ව සිටියහ.
එතැන් සිට නැටුම් ගැයුම් සහිත පෙරහරකින් පාගමනින් නගරය වෙත ධනුෂ්ක කැඳවාගෙන යාමට කටයුතු සංවිධානය කර තිබුණත් එහෙත් මීටර් විස්සකට වඩා පාගමනින් ඔහු කැඳවාගෙන යා නොහැකිවිය.
මඟදෙපස සිටි රසිකයෝ ඔහු වට කර ගත්හ.ඔහු බදා ගන්නට වුහ.සෙනහස දක්වන්නට වුහ. යළිත් විවෘත රථයට නංවා ගැනීමට සිදු විය.
රාත‍්‍රී නවයයි තිහට පමණ ඇඹිලිපිටිය නව නගරයේ ගම්උදා භූමියේ සංගිත ප‍්‍රසංගයට පැමිණි ධනුෂ්ක ප‍්‍රථමයෙන්ම ගැයුවේ ‘‘හිස් ටින් එකක් වාගේ මේ ජීවිතේ’ යන ගිතයයි. ‘‘දෙරණ සිහින තරුව’’ වැඩ සටහනේ දෙවැනි සහ තෙවැනි තැන් ලද ජයග‍්‍රාහකයෝ ද මෙන්ම වැඩසටහනේ සුවිශේෂී කුසලතා දැක්වු ආධුනික ගායක ගායිකාවෝ ද සංගීත ප‍්‍රසංගය රසවත් කළහ.
ධනුෂ්කගේ ජයග‍්‍රාහි ගමනේ උදව් උපකාර කළ හිතවතුන් වේදිකාවට පැමිණ ඔහුට සුබ පැතුහ. එහෙත් රැස්ව සිටි අති විශාල ජනකාය නිසා ආරාධනා ලැබසිටි ආරාධිතයන් රැසකට වේදිකාවට ලංවීමටවත් නොහැකිවුයේ යොදා තිබු බාධක බිඳ රසික රසිකාවන් වේදිකාව සමීපයටම පැමිණ සිටි නිසාය.ඔහුගේ පියා ඒ බව දැන සිටියේය. ඔහු අසල තේ කඩයක කහට කෝප්පයක් බොමින් පුතාගේ දස්කම් ගැන නිරහංකාර සතුටක් වින්දේය.
ආධුනික ගායන ශිල්පියෙකුට ඇඹිලිපිටියේදි ලද උණුසුම් ප‍්‍රතිචාරය මෙය බව රැස්ව සිටි බොහෝ දෙනෙක් පැවසුහ.















