දෙමෝදර අවට පවුල් 34 ක් ආරක්ෂිත ස්ථානවලට


( ප්‍රසාද් රුක්මල් )

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් දෙමෝදර නැරඹුම් මධ්‍යස්ථානය අසල දෙමෝදර ගල්කන්ද නායයාමේ අවදානම නිසාවෙන් ඒ අවට පදිංචි පවුල් 34ක සාමාජිකයන් 148ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානකරා යොමු කළබව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා අද(11) පැවසීය .

මෙසේ ආරක්ෂිත ස්ථානකරා යොමු කළ  පිරිසෙන් කොටසක් ඇල්ල  ප්‍රාදේශීය සභාවට අයත් දෙමෝදර නාවුල්ල පිහිටි බහුකාර්ය  ගොඩනැගිල්ලේ තාවකාලිකව නතර වී සිටින අතර ,සෙසු පිරිස සිය නෑදෑ හිතවතුන් ගේ නිවෙස් වල නතර වී සිටින බවත් හෙතෙම කීය .

පවතින වැසි  සමග දෙමෝදර නැරඹුම් මධ්‍යස්ථානය අසල ගල්කන්ද විශාල ලෙස ඉරිතලා පුපුරා ගොස් නායයාමේ දැඩි අවධානමක තිබෙන අතර, මේනිසාවෙන් බදුල්ල  බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය ට මෙන්ම ,කන්දට පහල ජනනිවාස වලටද දැඩි අවදානම් තත්ත්වයක් මතු වී ඇතයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කලේය .

මෙම ස්ථානය ඊයේ (10) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් විසින් ද පරික්ෂාවට ලක්කරනු ලැබිණ .

දනට මෙසේ අවතැන් වී සිටින පිරිසට අවශ්‍ය  පිසූ අහාර මෙන්ම අනෙකුත් අවශ්‍ය  සෞඛ්‍ය පහසුකම් ලබා දෙන බවද ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක මහතා පවසයි .