‘යාපා පටුනයි දහම් අමාවයි‘ තේමා කරගනිමින් යාපනය වෙසක් කලාපය සිව්වැනි වරටත් යාපනය මහජන පුස්තකාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි, යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තුන් දිනක් පැවැත්විණි.
ආගමික සංහිදියාවෙන් ජාතික සමගිය ඇති කිරීම මූලික කරගනිමින් යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහගේ සංකල්පයක් මත වෙසක් කලාපය සංවිධානය කැරිණි.
දර්ශනීය පහන්කූඩු, දිව්‍යලෝක අනුරූ, බත් දන්සල්, සිසිල් පැන් දන්සල් ඊට ඇතුළත් විය.
භක්ති ගීත සංදර්ශනයක් පැවැත්වූ අතර එහිදී යාපනය මනිප්පායි නාලන්දාරාමයේ දමිළ බෞද්ධ දරුවෝ සිංහල බොදු බැති ගායනා කළහ.
උතුරු නාවික හමාදා ආඥාපති අද්මිරාල් ශිරන්ත උඩවත්ත, යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න, උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ආර් විජයලක්ෂ්මි මහත්මිය, යාපනය රෝහල් අධ්‍යක්ෂ භවානි පසුපතිරාජා මහත්මිය ඇතුළු යාපනය ප්‍රදේශයේ දමිළ ජනයා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.