එෆ්.අස්ලම්
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් දෙමළ ජනතා පෙරමුණ උතුරු නැගෙනහිර සියළුම ආසන සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කර දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කිරීමට තීරණය කර ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අද (12) වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින මොහොතක විග්නේෂ්වරන් මහතා සිය දේශපාලන පක්ෂයෙන් තරග කරවීම සදහා අපේක්ෂකයින් තෝරමින් සිටින බවත් ඔහු සමගින් එක්ව දේශපාලනය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් රැසක් කැමැත්ත පලකර තිබෙන බවත් දෙමළ ජනතා පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.
උතුරු පළාත් සභාව විසුරුවා හැරීමත් සමඟ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් සී.වී විග්නේෂ්වරන් මහතාට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ආනන්දි ශෂිතරන්,කේ.ගුණසීලන්,කන්දයියා සර්වේෂ්වරන් යන උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මෙන්ම එම පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක්ද සහාය පළ කර සිටියහ. එමෙන්ම දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ද විග්නේෂ්වරන් ට සහාය පළ කර සිටියහ.
ප්‍රතිපත්ති කඩකිරීම,දෙමළ ජනතාව මුලා කිරීම,රජයේ හවුල්කරුවන්ව කටයුතු කිරීම,දෙමළ ජනතාවගේ ගැටළු නිරාකරණය නොකිරීම,ජාතික ගැටළුවට විසදුම් ගෙන ඒමට නොහැකිවීම යන චෝදනාවන් එල්ල කරමින් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ජනහමු පවත්වමින් දේශපාලන වශයෙන් දැඩි පීඩනයක් විග්නේෂ්වරන් මහතා ප්‍රමුඛ සිය පක්ෂයේ නියෝජිතයින් එල්ල කර සිටින බවද පැවසේ.
දෙමළ ජාතික සන්ධානයට අභියෝග කිරීමට විග්නේෂ්වරන් සැරසෙයි
Recommended Articles