ශ්‍රී ලංකාවෙන් වැඩමකර සිටි පත්බේරියේ ඥානාලෝක හිමියන්ට තමිල්නාඩුවේ තන්ජූර්හි බ්‍රිහාදීශ්වර මහා දේවාලයේදී අඩන්තේට්ටම් කිරීම සහ උන්වහන්සේගේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලට අවහිර කිරීම සම්බන්ධයෙන් තන්ජූර් පොලිසිය විසින් සැකකරුවෝ 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඥානාලෝක හිමියන් නවදිල්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ඉන්දියා පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන අතර වාරයේ එම ආයතනයේම සිසුන් 19 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සමඟ තන්ජුරයට පැමිණ සිටියේ පුරාවිද්‍යා සමීක්ෂණ වැඩකටයුතු වලට සහභාගී වීම සඳහාය. උන්වහන්සේ සමඟ පැමිණ සිටි වැඩිදෙනා විදේශ සිසුහු වුහ. මේ දිනවල තමිල්නාඩුව පුරා පැතිරී ඇති ශ්‍රී ලංකා විරෝධී රැල්ලේ අතුරු පලයක් ලෙස මෙම අතවර කිරීම සිදුවන්නට ඇති පොලිසිය කියයි. කෙසේවුවද මේ සම්බන්දව විශාල ප්‍රචාරයක් ඉන්දීය පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදී තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ වරදකරුවන්හට නීතිමය දඬුවම් ලබාදීම සඳහාත් ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්හට නිදහසේ තම වැඩකටයුතු කරගෙනයාම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහාත් ඉදිරියේදී මවැනි කනගාටුදායක සිදුවීම් ඇති නොවීම සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙසත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඉන්දියා රජයට දන්වා ඇත.
සිද්ධියෙන් පසු තන්ජුර් පොලිසිය ඥානාලෝක හිමි ඇතුළු කණ්ඩායම විශේෂ ආරක්ෂාව සහිතව ත්‍රිචීනෝපොලි ගුවන්තොටුපලට රැගෙනගොස් නවදිල්ලිය වෙත ගමන්කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීය. එම පිරිස රැගෙන ගිය වාහන වලටද මග රැක සිටි පිරිස් ගල් මුල් ප්‍රහාර එල්ල කළ නමුත් එයින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැත.
නව දිල්ලි නුවර පුරාවිද්‍යා පශ්චාත් උපාධිය හදාරන එම සිසුන් අතර තායිලන්තය,චීනය සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි සිසුහු ද සිටියහ. ඥානාලෝක හිමියන් එම උපාධිය සඳහා පසුගිය වසර එක හමාරක කාලයක් තිස්සේ ඉගෙනීමේ කටයුතුවල නිරතවී ඇත.
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතරේ " නාම් තමිසර් කච්චි", "තමිසර් දෙශීයර් පොධුවුඩමායි කච්චි" සහ ප්‍රභල ශ්‍රී ලංකා විරෝධියෙකු ලෙස පෙනීසිටීමට වලිකන වයිකෝ ගොපාලස්වාමි ගේ "මුරුමලච්චි ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්"නම්වූ සංවිධානයන්ට අයත් අය සිටිනා බවත් මෙම ප්‍රහාරය දේශපාලනමය හේතුන්මත සිදුකරන ලද්දක් බව ඉතාම පැහැදිලි බවත් පොලිසිය පවසා ඇත.
එම අවස්ථාවේ දේවාලය වන්දනාකාර ගැනීම සඳහා එතනට පැමිණ සිටි බැතිමතුන් සියලුදෙනාම මෙන්ම දෙවාලයේ පුජක තුමාද මෙම සිද්ධිය දුටු පසුව ඉමහත් කනස්සල්ලට පත්වූ බවත් එය එකසිතින්ම හෙළා දුටුබවත් වාර්තා වී තිබුණි.
මේදිනවල දකුණු ඉන්දියාවේ සීමිත පිරිසක් දේශපාලන වාසි පතා ගෙනයන උසිගැන්වීම් හේතුවෙන් කැළඹීමට පත් සුළු පිරිසක් සිදුකල මෙම අවාසනාවන්ත සිද්ධිය නිසා ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කිසිසේත් බියයුතු නැති බවත් තන්ජුර් පොලිස් අධිකාරී සයිලේෂ් කුමාර් යදාව් ප්‍රකාශකළේය. ඉන්දියාවේ කොතැනක උවත් විදේශිකයන් සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව සැපයීමට ඉන්දියානු බලධාරීන් කටයුතු කරන බවටද ඔහු සහතික විය. දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සම්බන්ධ සියලුම ස්ථානයන් වෙත ආයුධ සන්නද්ධ දැඩි ආරක්ෂාවක් සැපයීමට දැනටමත් කටයුතු යොදා ඇත.