දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිට අධිකරණයේ පෙනී සිටීමට නියෝග


(නිමන්ති රණසිංහ)

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව තුළදී ඇතිවූ සිද්ධියට අදාළවූ සී සී ටී වී දර්ශන හඳුනාගෙන ප‍්‍රකාශයක් ලබා දීම සඳහා දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක විජිත පෙරේරා මහතාට හෙට (20) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (19) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය අද (19) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරනු ලැබූ සී සී ටී වී දර්ශන සම්බන්ධයෙන් ඒවා හඳුනා ගැනීම සඳහා එම ගැටුම සිදුවන අවස්ථාවේදී එතැන සිටියේ මෙම උසස් පොලිස් නිලධාරියාගෙන් නැවත ප‍්‍රකාශ ලබා ගත යුතුව ඇතැයි තීරණය කළ අධිකරණය එලෙස නියෝගයක් නිකුත් කළේය.

මෙම මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේදී දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මින් ඉහත දිනයකදී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේදී සාක්ෂි ලබා දීම සිදුකළේය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ තැත් කර දෙදෙනකුට තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි කියන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීයා අද (19) බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.