දෙමටගොඩ නිවසක තියුණු ආයුධ තොගයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ල වත්ත  නිවසක  සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

සැකකරු සමඟ කඩු 13 පොලිස් භාරයට ගෙන ඇත.

එම නිවස තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු වන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව  නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී පොහොර උරයක දමා තිබූ  කඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි.

කාලිපුල්ල වත්ත  ට නිරතුරුවම ආ ගිය බව කියන  සංවිධානාත්මක අපරාධ කරුවකු වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරිප්පු වා නමැත්තා ගේ  සහෝදරයා වන වරුණ ලක්මාල් මධුරංග ගේ නම පවසා මුහුණ පුරා රැවුල වවාගත් කොල්ලො දෙදෙනකු විසින් මීට සති දෙකකට පමණ ඉහතදී රාත්‍රී 11.30 ට පමණ   ආයුධ තොගය  නිවෙසෙහි තබා අපි ආපහු අරගෙන යන්න එනවා යනුවෙන්   පවසා පිටත්ව ගිය බව  අත්අඩංගුවට ගත්  නිවෙස් හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ,ඔහු පවසා තිබේ.

ආයුධ තොගය සම්බන්ධයෙන් සැකකරු සිදුකරන ප්‍රකාශ  සත්‍ය දැයි සෙවීම සඳහා දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව පොලීසිය කියයි.

ඉකුත් දෙවැනි දින   දෙමටගොඩ ලක් හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයකුට  පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් වරුණ ලක්මාල් මධුරංග නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාර ගත කර ඇති බවට   තොරතුරු අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය