දෙබෑ වෙන්න ගිය මූණ සවි කරයි


මුහුණට කඩු පහරක් වැදීමෙන් නාසය, උඩු හනුව සහ යටි හනුව සහ දිව සහ දකුණු ඇසේ ඇසිපිල්ලම කැපී ගිය පයාගල විසි හතර හැවිරිදි තරුණයකුගේ මුහුණ පැය දහයහමාරක ප්ලාස්ටික් ශල්‍යකර්මයකින් ප‍්‍රකෘති තත්ත්වයට පත්කිරීමට කොළඹ ජාතික රෝහලේ

වෛද්‍ය අමිල සිරිවර්ධන

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු දෙදෙනෙක් සමත්වූහ.
ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ශල්‍ය වෛද්‍ය එහි ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී අමිල සිරිවර්ධන සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහත්වරු මේ විශ්මිත සැත්කම කළහ.
ඉරිදා (27) රාත‍්‍රියේ පටන් ගත් ශල්‍ය කර්මය ඊයේ (28) උදෑසන 8.30 වනවිට සාර්ථකව අවසන් කළ බව ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය.
කඩු පහරට ලක්වූ තරුණයා බරපතල කැපුම් තුවාල සහිතව කළුතර නාගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මාරුකර එවා තිබේ.
මෙම සැත්කම පිළිබඳව අදහස් දැක්වූ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන මහතා මෙසේ පැවැසීය.
කළුතර නාගොඩ රෝහලෙන් ජාතික රෝහලට මාරුකර එවූ මෙම රෝගියාගේ බරපතල කැපුම් තුවාල සහිතව සිටියා. ඔහුගේ පපුවේ සහ මුහුණේ බරපතල කැපුම් තුවාල තිබුණා. රෝගියාගේ මොළයට හානි වී නැති බව අප කළ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වුණා.
රෝගියාගේ මුහුණ ප‍්‍රදේශය වම් පසින් ඇලව සිටින ආකාරයට අක්ෂි කුහරය, නාසය, උඩු හනුව, යටි හනුව, දිව දරුණු ලෙස කැපී මස් වැදැල්ලකින් එල්ලී තිබුණා. පපු පෙදෙසේ ඇති වී තිබූ තියුණු කැපුම් තුවාල ශල්‍ය කර්මයකින් යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව මුහුණේ කැපුණු කොටස් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අප සැත්කම කිරීම ඇරඹුවා.

වෛද්‍ය ගයාන් ඒකනායක


”ටයිටේනියම්” නම් ලෝහයකින් සෑදු පතුරු විශේෂයක් සහ ඇණ ආධාරයෙන් මුහුණේ කැපී ගිය කොටස් බද්ධ කළා. මුහුණේ බිඳී ගිය අක්ෂි කුහරය උකුල් අස්ථි කොටස් ලබාගෙන ප‍්‍රතිනිර්මාණය කළා. සැත්කමට පැය දහයහමාරක් පමණ ගතවුණා.
විශේෂ ශල්‍ය වෛද්‍ය ධම්මික දිසානායක මහතාගේ අධික්ෂණයෙන් මෙම සැත්කම සඳහා ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා සහ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අලූත්ගේ මහතා ප‍්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ද වෛද්‍ය රාජපක්ෂ, වෛද්‍ය ලකිත් විජේකෝන්, වෛද්‍ය විමල් රාජන් හා ප්ලාස්ටික් ශල්‍යාගාරයේ හෙද නිලධාරීන් කනිටු සේවක පිරිසගේ සහය ලබාගත්තා.

 

 

 

සැත්කමට පෙර

 

 

සැත්කමට පසු