දෙපුල්ලියා හොරෙන් පටවන්න බැරිවෙයි


ශ්‍රී ලංකාවට ආවේණික  දුර්ලභ වර්ගයේ ජීවී මසුන් 180 දෙනෙක් නීති විරෝධිව දකුණු අප්‍රිකාවට  රැගෙන යාමට කළ  උත්සාහයක්  වැලක්වීමට රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා  ජාති උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු  සමත් වුහ.

සුරතල් මසුන් අපනයන සමාගමක්  විසින්  විසිතුරු මත්ස්‍යයින් අපනයනය කරන මුවාවෙන්   ක‍ටාර් ගුවන්සේවයට අයත් කිව්.ආර් 661 දරණ ගුවන් යානයෙන් මෙම මසුන් අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබුණි.

දෙපුල්ලියා නැමැති නාමයෙන් හඳුන්වනු මෙම මසුන් විශේෂය වඳවී යාමට ලක්වී ඇති බැවින් රතු දත්ත පොතටද අතුළත් කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සත්තව හා වෘක්ෂලතා පනතින් ද ආරක්ෂා කර ඇති මෙම මත්ස්‍ය විශේෂය ධීවර අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව ශ්‍රී  ලංකාවෙන් බැහැර කිරීම  නීති විරෝධී බවත් ඔහු පැවසීය.

මේ පිළිබඳව රේගු පරීක්ෂණය  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතා විසින් සිදු කල අතර  එම මසුන්  රාජසන්තක කර දෙහිවල සත්තව උද්‍යානයට මුදා ගැරීමට  නියෝග කළේය.  මීට අමතරව  සැකකාර අපනයන සමාගමට රුපියල් දස දහසක් දඩයකද්  නියම කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත   නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහේෂ් හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරී කිත්සිරි අතපත්තු මහතා ඇතුළු නිලධාරීහු  සිදු කළහ.

 2