කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුම දක්වා නව අදි වේගී මාර්ගය ඔස්සේ සුඛෝපභොගී බස් රථ සේවාවක් අද ඇරැඹීය.
වෙනදා කටුනායක ගුවන් තොටුපොළේ සිට කොලඹට කුලී වාහනයක යාමට රුපියල් දෙදාස් හත්සීයක් ගෙවීමට සිදුවිය. නමුත් අදින් පසු රුපියල් ඒකසිය තිහකින් අධිවේගයේ සැප බසයකින් කොළඹට යා හැකිය.
පෙරවරු 6.30 සිට රාත්‍රී හත දක්වා සෑම විනාඩි 30 කට වරක්ම කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වාද, කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වාද මෙම සුඛෝපභෝගී බස් ධාවනය කෙරේ. ඉදිරියේදී මගී අවශ්‍යතාවය අනුව බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට නියමිතය.
මීට අමතරව රාත්‍රී කාලයේ ඕනෑම වේලාවක මගී අවශ්‍යතාවයන් මතු වුවහොත් ධාවනය කිරීම සඳහා බස්රථ තුනක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගාල් කර ඇත.
අද පෙරවරු හතට යෙදි තිබු සුභ මොහොතික් මංගල බස් රථය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹට පිටත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් එහි පළමු ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමෙන් අනතුරුව පීත්ත පටිය කපා බස් රථයට ඇතුළු වුවාය.බස් රථය මගීන්ගෙන් පිරි තිබු අතර වැඩි පිරිසක් විදේශිකයින් විය.
පොලිස් යතුරු පැදියක් පෙරටු කරගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ මධ්‍යම බස්නැවතුමිපොළ වෙත පිටත්වු බස් රථයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ගමන් ගත්තාය.
මෙම අවස්ථාවට ගුවන්තොටුපොළ බලධාරීන්, ශ්‍රී ලංගම සේවයේ කාලසටහන් කළමනාකරු එස්.ඩී.ඕ නිමල් ඇනස්ලි, කලවාන ඩිපෝ කළමනාකරු ජී.සේමරත්න, මහරගම ඩිපෝ කළමනාකරු එම්.කේ ජයවර්ධන යන නිලධාරීහු සහභාගී වූහ.
මේ අතර කොළඹ සිට කටුනායකට බස් සේවාව ඇරැඹීම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අතින් සිදු විය.
බස් සේවාව අරඹමින් ප්‍රවාහ ඇමැති වෙල්ගම මහතා විසින් ප්‍රථම බස් රථය පිටකොටුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වාම මගීන් සමග ධාවනය කැරිණි. බස් රථ ධාවය කිරීමේ අමාත්‍යවරයාගේ දක්ෂතාව මනාව පෙන්නුම් කරමින් ඔහු පැයට කිලෝමීටර 80ත් 100ත් අතර වේගයකින් බස් රථය ධාවන කළේය.
(ඡායාරූප දීපා අධිකාරී)
(ඡායාරූප රොමේෂ් ධනුශ්ක සිල්වා)

