දූෂණ මඩින්න ජනපති ලේකම් ආයතන ලොක්කන්ට වගකීම් පවරයි


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය-පෞද්ගලික ආයතන ප්‍රධානීන්  ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුමක් සකස් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දැනුම් දුන්නේය.

එම ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව දූෂණ විරෝධී ජාතික මෙහෙයුම් කමිටුව විසින් වරින්වර සමාලෝචනය කළ යුතු බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ පැවැති  සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා මේ බව කීය.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

‘සුපිළිපන් දේශයක් කරා' යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 9 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම' එළිදක්වන ලද අතර, 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ජාතික මෙහෙයුම් කමිටුව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන්  සමන්විත වන අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කමිටුවේ සභාපති ලෙසද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  රංග දිසානායක මහතා කමිටුවේ උප සභාපති සහ කැඳවුම්කරු ලෙසද කටයුතු කරයි.