දුර්ලභ මුහුදු බෙල්ලන්, ගල්මලූයි අං තට්ටුවයි රේගුවේ හිරවේ


 ඉතා දුර්ලභ වර්ගයේ මුහුදු  බෙල්ලන්, ගල්මල්  සහ  පැරණි අන්තට්ටුවක් රැගෙන මෙරටින් පිටවීමට උත්සහ කළ චීන ජාතිකයෙක් සහ ඇමරිකානු ජාතිකයින් දෙදෙනෙකු රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කියයි.
අත්අඩංගුවට ගත්  මුහුදු ඛෙල්ලන්  ප්‍රමාණය හාරසිය පනහකි.  අන් තට්ටුව වසර සියයකට වඩා පැරණි බව රේගුව කියයි.
 වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ  සහකාර රේගු අධිකාරී අසංක ප්‍රියදර්ශන මහතා විසින් මොවුහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවෝ  ශ්‍රී ලංකාව වටා  ඇවිදිමින් මෙම භාණ්ඩ මිල දී ගෙන ඇති  බව රේගුව කියයි.
චීන ජාතියා චීනයේ ෂැංහායි නුවර  බලා යාමටත් ඇමරිකානුවන් දෙදෙනා ප්‍රංශය බලා යාමටත් කටුනායකට පැමිණ ඇත.
 මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් පිට  රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් සහ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක අතුල ලංකාදේව  යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ සහකාර රේගු අධිකාරි අසංක ප්‍රියදර්ශන මහතා විසින් සිදුකරනු ලැබීය.
මේ පිළිබද රේගු පරික්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ. ලංකාදේව මහතා විසින් භාන්ඩ සියල්ලම රාජසන්තක කළ අතර සැකකරුවන් තිදෙනාට තරයේ අවවාද කොට ඔවුන් මුදා හැරියේය.