දුර්ලභ මුහුදු ඌරෙක් මන්නාරම වෙරළේ


මන්නාරම, තාවිල්පාඩු මුහුදු වෙරළ තීරයට මියගිය මුහුදු ඌරකුගේ සිරුරක් ගොඩගසා තිබූ බව වනජීවී සහකාර අධ්‍යක්‍ෂ අශෝක රාජපක්‍ෂ මහතා පවසයි.

මුහුදු ඌරා ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි අතිශය දුර්ලභ සතකු බව ඔහු සඳහන් කරයි.

අඩි පහක් පමණ දිගින් යුත් මෙම මුහුදු ඌරා කිලෝ 450 ක් 500 ක් පමණ බරින් යුක්තය. මෙවැනි මුහුදු ඌරන් ලංකාවේ වෙරළ තීරයේ කලාතුරකින් දක්නට ලැබෙන අතර ලංකාව වටා මුහුදේ හත් අට දෙනෙක් පමණක් සිටින බවට අනුමාන කෙරේ.

මුහුදු ඌරා විශාල තුවාලයකට ලක්වී සිටි අතර අනවසරයෙන් මසුන් මැරීමට යොදාගන්නා ඩයිනමයිටයකට හසුවන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

‘මෙම සත්වයන් ලංකාව මුහුදු තීරයේ කීයක් ඉන්නවද කියලා තවමත් ගණනය කරලා නෑ. මොවුන් මුහුදු පැළෑටි පමණක් ආහාරයට ගන්නවා. මෙවැනි සත්වයන් අපි ආරක්‍ෂාකර ගන්න  ඕනෑ මොවුන් ඉතා ශීඝ‍්‍රයෙන් වඳ වෙලා යන සත්වයන් බවට පත්වෙලා තියෙනවා. මීට පෙර ලංකාවේ මුහුදු තීරයට මෙවැනි මියගිය මුහුදු ඌරන් දෙදෙනෙක් පමණ ගසාගෙන ඇවිත් තියෙනවා. එහෙත් ධීවරයන්ගේ නොදැනුවත්කම නිසා ඔවුන් පුළුස්සා තිබෙනවා. මින් ඉදිරියට ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ අපි එකතුවෙලා මෙවැනි වඳවී යන මුහුදු ජීවීන් ආරක්‍ෂාකරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා‘ යැයි රාජපක්‍ෂ මහතා පැවැසීය.

DSCN3296 DSCN3302 DSCN330714915406_765538246917433_8288336025915736441_n 15027905_765538226917435_5777200940765759897_n DSC_5743