දුරගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කෙරේ


(නිමල කොඩිතුවක්කු)
 

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
 
කොරෝනා ව්‍යාප්තියත් සමග දුම්රිය මගීන්ගේ අඩුවක් පවතින බැවින් මෙම තීරණය ගත් බවද  දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
 
ඒ අනුව මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය  වන දක්ෂිණ දුම්රිය, කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි දුම්රියෙ, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය  දක්වා ධාවනය වන උත්තරදේවී දුම්රිය සහ කොළඹ කොටුවේ සිට මහනුවර  දක්වා ධාවනය වන නගරාන්තර දුම්රියන් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට  දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 
මෙයට අමතරව බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණකේ දුම්රිය ඉකුත් ඔක්තොම්බර් 8 දිනයේ සිට ධාවනය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
 
මෙම දුම්රියන් සති අන්තයේ සාමාන්‍ය පරිදි ධාවනය වන බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.