දුමින්ද සිල්වා හොරෙන් ඇවිත් හොරෙන්ම යයි


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ කොටුවේ රහස් පොලිසියේදී පැය 6 කට ආසන්න කාලයක් අදත් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි.

ඔහු රැගත් සුදු පැහැ රිය පසුපස ගේට්ටුවෙන් අද උදේ රහස් පොලිස් කාර්යාලය ඇතුළටම ගියේය. ඒ වන විටත් මාධ්‍යවේදීහු අසල රොක්වී සිටියහ.

දුමින්ද සිල්වා එම රියේ පසුපස ආසනයක වාඩිවී සිටි බව කියති. ඡායාරූප ශිල්පීන්ගෙන් වසන්වෙමින් අද සවස 5 ට පමණ ඔහු ඒ ආකාරයෙන්ම පිටවී ගියේය.

පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හොරෙන් මත් කුඩු එවී යැයි පාකිස්ථානයෙන් පිටුවහල් කෙරුණු වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර දුමින්ද සිල්වා ගැන කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අඩුගණනේ 100 කට ආසන්න පිරිසකගෙන් පමණ ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.

GLA_3570