(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේදී සිදු වු දුම්රිය අනතුරකින් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලැබු හය හැවිරිදි කමලාදන් ජෙසිකා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩනයට රැගෙන යාමට එරට වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබේ.
දැරියගේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ස්වීඩන් රාජ්‍යයේ සිට පැමිණි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ සිට වවුනියාව දක්වා හෙලිකොප්ටරයක් මඟින් පැමිණ, දැරිය වවුනියාව මෙම කණ්ඩායම දැරිය හෙලිකොප්ටරයක් මඟින් කටුනායක ගෙන ගොස් අනතුරුව ගුවනින් සිංගප්පූරුවට ගෙන ගොස් ප්‍රතිකාර කර එහි සිට ස්වීඩන් රටට ගෙනයාමට කටයුතු කරනු ඇති බව දැරියගේ ඥාතීහු පැවසූහ.
දුම්රිය අනතුරින් මෙම දැරියගේ මව වන වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා නැමැත්තිය ජිවිතක්ෂයට පත්ව අතර, දැරියගේ පියා වන වයස අවුරුදු 34 ක් වු ජේමිස් කමලනාදන් නමැත්තා අනතුරින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබයි.
ස්වීඩන් රාජ්‍යයේ පුරවැසියන් වන මෙම කණ්ඩායම නිවාඩුවක් සඳහා යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයට පැමිණ අනතුරුව සිට ඥාතීන් බැලීම වෙනුවෙන් කාර් රථයකින් වවුනියාව පණ්රිකෙයිදකුලම ප්‍රදේශයට පැමිණිමේදී ඔවුන් ගමන් කළ මෝටර් රථය යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටී අනතුරට ලක් විය.
අනතුරින් වයස අවුරුදු 56 ක් වු ඉසෙයි ඥානවතී යෝගරත්නම් වයස අවුරුදු 30 ක් වු කමලනාදන් ශිවරංජනා , වයස අවුරුදු 32 ක් වු කාන්දීපන් යමුනාරංජනා නමැති , වයස අවුරුදු 13 ක් කාන්දීපන් දිසාලනී නමැති දැරියක් ජිවිතක්ෂයට පත් වුහ.
ජේමිස් කමලනාදන් (34), කමලනාදන් ජෙසිකා (06) , කාන්දීපන් දර්ශිකන් (07) හා කාර් රථයේ රියදුරු වු මුත්තයියා ගනපති (53) නැමැති පුද්ගලයෙකු තුවාල ලබා දිවි බේරාගෙන තිබේ.
දැරියගේ ශාරීරික රෝගී තත්ත්වයන්ට අමතරව දැරිය දැඩි මානසික රෝගී තත්ත්වයටද පත්ව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග පැවසූහ.