දුම්රිය වර්ජනය නිසා ඉංජිනේරු සිසුවා මරුට


(යොහාන් භාසුර මහින්ද නිශ්ශංක සහ තිලකරත්න දිසානායක)

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු අභ්‍යාස ආයතනයේ ඉ‌ෙගනුම ලබන ඉංජිනේරු සිසුවෙකු බව තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

එම තරුණයා දුම්රිය වහලය මත සිටියදී හොරප දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී ඇති බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. දුම්රිය රියදුරන් අද ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව මෙසේ අනතුරුදායක ලෙස දුම්රිය භාවිතා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායාරූපය: රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය - ෆේස්බුක්)