(ඩයනා උදයංගනී)
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන අංක 4021 දරණ නගරාන්තර සීඝ‍්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා මහාගල්කඩවල කැලෑබැද ප‍්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේ එම දෝෂය නිවැරදි කළ ජනිත් දිමන්ත විතානාරච්චි සිසුවා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට කැඳවා ඔහු ඇගයීමට එම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (01) කටයුතු කළේය.
දුම්රියේ වායු පීඩක නළයක දෝෂයක් ඇතිවී දුම්රිය කාර්මික ශිල්පීන්ටද යථා තත්ත්වයට පත් කළ නොහැකිවීමෙන් ගුවන්තොටුපළ කරා ගමන් ගත් විදේශිකයින් ඇතුළු මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එම දුම්රියේ ගමන් කළ මෙම සිසුවා ඉදිරිපත් වී එම දෝෂය නිවැරදි කර තිබූ අතර එම අවස්ථාවේ දුම්රියේ ගමන් කළ මගියෙකු ඒ පිළිබඳව මුහුණු පොතට සටහනක් එක්කර තිබිණි.
අනතුරුව එම පුවත ලංකාදීප ඉකුත් 28 වැනිදා පුවත්පතෙහි පළවූ අතර එය දුටු ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා ජනිත් දිමන්ත සිසුවා ගෙන්වා ඇගයීමට පියවර ගත්තේය.
මොරටුව ජර්මානු කාර්මික ආයතනයේ අධ්‍යපනය ලබා මේ වන විට පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වැඩිදුර අධ්‍යපනය හදාරන ජනිත් දිමන්තගේ පියා වන සුනිල් විතානාරච්චි මහතා ද ඉංජිනේරුවරයෙකු වන අතර ලෝර්ඞ් මාස්ටර් නැමති ට‍්‍රැක්ටරයක් ඇතුළු නව නිර්මාණ ගණනාවක්ම ඔහු විසින් කර තිබේ.
ඔහුගේ මව වන ධම්මිකා විතානාරච්චි විශ‍්‍රාමික ගුරුවරියකි.
පවුලේ එකම දරුවා වන ජනිත් පියාගේ අඩි පාරේ යමින් සිටින අතර ඔහු ද මේ වන විට නව නිර්මාණ කිහිපයක්ම කරමින් සිටී. එමෙන්ම ඔහු ජාත්‍යන්තර මට්ටමේ තරඟ කිහිපයකින්ම ජයග‍්‍රහණ ද ලබා ඇත.
ජනිත් මේ වන විට ජර්මානු කාර්මික තාක්‍ෂණ ආයතනයේ අධ්‍යාපන කටයුතු අවසන් කර ඇතත් එහිදී ඔහුට සහතිකය ලබාගැනීම සම්බන්ධයෙන් ගැටලූවක් ඇති වී ඇති අතර ඒ ගැන සොයා බලා සාධාරණයක් කරදීමට ද ප‍්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය.
මෙම අවස්ථාවට දුම්රිය සේවකයින් පිරිසක් ද එක්ව සිටි අතර ජනිත් දුම්රියේ පැවති දෝෂය හා එය නිවැරදි කළ ආකාරය මෙහිදී පැහැදිලි කළේ රූප සටහන් ද යොදා ගනිමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනිත් මෙසේ ද කීවේය.
‘‘මම මගේ මව ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ සිට පැමිණෙන අතරමගදී මේ සිදුවීම වුණා. මම ඒ අවස්ථාවේ නිදාගෙනයි සිටියේ. මගේ මව මා අවදි කර පුතාට පුළුවන් නම් මොකද වී තිබෙන්නේ බලන්නැයි කිව්වා. ඒ වන විට වෙනත් දුම්රිය එංජිමක් මගින් ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා ගෙන ගොස් එතැන සිට කොළඹ කොටුව දක්වා ගමන් කිරීම සඳහා මගීන්ට ගමන් පහසුකම් සලසන බව දුම්රිය නිලධාරීන් මගීන්ට දැනුම් දෙමින් සිටියා. මම ඒ අනුව ගොස් දුම්රිය කාර්මික ශිල්පීන්ගේ අවසරයෙන් දුම්රිය පරීක්‍ෂා කරන විට එහි තිබූ දෝෂය හඳුනාගෙන නිවැරදි කළා. ඒ සම්බන්ධයෙන් දැන් ඇමතිතුමාටත් සියලූ කරුණු පැහැදිලි කර දුන්නා.
මට මේ තුළින් ප‍්‍රචාරයක් ලබාගැනීමට හෝ කිසිවෙකු අපහසුතාවට පත්කිරීමට අවශ්‍ය වුණේ නැහැ.
මෙය මුහුණු පොතේ පළවූ බව මා දැනගත්තේත් පසුවයි. අද ඇමතිවරයා මා ගෙන්වා ඇගයීම ගැන සතුටුවෙනවා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. මගේ උපාධියේ කටයුතු අවසන් කර නව නිර්මාණ කරමින් රටට ලෝකයට සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.’’
විද්‍යා, තාක්‍ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා මහනුවර සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
(ඡායාරූප ලහිරු හර්ෂණ)