(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අවලංගු වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව පස්වරුව වන විට මීට වඩා වැඩිවියහැකි බවත් පිට පළාත්වල සිට කොළඹට ධාවනය නොකළ දුම්රිය නැවත පස්වරුවේ පිටපළාත් දක්වා පිටත්කර හැරීමේ හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා කීය.
වෙසක් නිවාඩුවෙන් පසුව මෙසේ දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා කර නොමැති බව කී එම නිලධාරියා රියදුරන් සේවයට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම නිසා කාර්යාල සේවකයන් ඇතුළුව දුම්රිය මගීන් අද දැඩි අපහසුතාවට පත්වූහ.
දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ දුම්රිය රියදුරන් සහ නියාමකයන්ගේ දැඩි හිඟය හේතුවෙන් වරින්වර මෙම ගැටලුව මතු වන බවත් මීට වසර දෙකකට පමණ පෙර මෙම ගැටලුවට විසඳුමක් ලෙස දුමිරිය රියදුරන්, නියාමකයන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා අනුප්‍රාප්තික සැලැස්මක් සකස් කළ ද එය ඉදිරියට ගෙන යෑමට දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අසමත් වූ බවත්ය.