දුන්නයි කියන වතුර නොලැබේ


පසුගිය හතර වැනිදා රාත්‍රියේ සිට ජලය ලබාදෙන බවට ජලසම්පාදන මණ්ඩලය පැවසූවද   අදත් (06)    ජලය තමන්ට නොලැබුණ බව මහරගම, නුගේගොඩ, තලපත්පිටිය ආදි ප්‍රදේශ රැසක ජනතාව පැවසූහ.

අද උදෑසන පහට පමණ ජනතාවගේ පරිභෝජනය සඳහා ජලය මුදා හැරිය බවත් උස් කඳු සහිත ප්‍රදේශවලට ජලය ජලය ලැබීම තරමක් ප්‍රමාද වියහැකි බවත් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය මහතා පැවසුවේය. ජලය නොලැඛෙන අය තමන් ප්‍රසිද්ධ කරන ලද දුරකථන අංකවලට කතා කළහොත් බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බවද බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

අද උදෑසන සිට ජනතාවට සුපුරුදු පරිදි ජලය ලබාදී ඇති බව ජලසම්පාදන මණ්ඩලය පැවසුවද ඊයේ සවස් වනතුරුත් මාදිවෙල කනත්ත පාර, ශ්‍රී ජයවර්ධනපුර, තලපත්පිටිය ආදී ප්‍රදේශ රැසකට ජලය ලැබී තිබුණෙ නැත. මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශවලට ජලය ලැබී තිබුණද ඒවා බොර පැහැයෙන් යුක්ත වූ නිසා ප්‍රයෝජනයට ගත නොහැකිවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.

අප සමග අදහස් දැක්වූ මාදිවෙල කනත්ත පාරේ රංග කුමාර මහතා -

‘අපිට අද උදේ වතුර එනවා කිව්වත් තවම ආවේ නැහැ. උදේ බවුසරය ඇවිත් වතුර ටිකක් දීලා ගියා. ඒ වෙලාවෙත් කිව්වා පැය එක හමාරකින් ජලය ලැඛෙනවා කියලා. දැන් වෙලාව හවස තුනයි. තාම වතුර නැහැ. බවුසරය එනවා කිව්වා. ඒකත් තාම නැහැ. මම මේ දවස් දෙකේම වැඩට ගියේ නැහැ.‘