දිසාපතිට බැරිදේ මෝදි කරයි


හින්දු භක්තිකයකු වන ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 14 වැනිදා අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගියේ පාවහන් නොමැතිවය.

ඊට කලින් මෝදි ශ්‍රී මහා බෝධිය වෙත ගොස් සිවුරු පූජා කළේය. දෑත් එකතුකර බෝ සමිඳුන් වැන්දේය. ඔහුගේ ලංකා ගමනයේදී මහා සංඝරත්නයට දන් පිරිනමා ක්‍රමානුකූලව වැන්දේය.

රුවන්වැලි සෑයට ඔහු යද්දී වැසි පතිත විය. එහෙත් ඔහු සළපතල මළුවට ඇතුළුවීමටත් පෙර පාවහන් ගලවාගෙන සිටියේය. ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සභාපති(උඩමළුව බාරකාර කමිටුවේ සභාපති) හා අටමස්ථාන කමිටුවේ සභාපතිවන අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා සපත්තු පිටින් මෝදිගේ පරිවාර ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ කුඩය යටින් ගමන් කළේය. කිරිඇල්ල මහතා ඒවනවිටත් සපත්තු ගලවාගෙන සිටියේය. සපත්තු ඇතිව රුවන්වැලි සෑ බිමට ඇතුළුවූයේ ඇයිදැයි සෙනෙවිරත්න මහතාගෙන් ඇසූවිට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

‘මම (කේ.එච්.ජේ)විජයදාස මහතාගෙන් පස්සේ උඩමළුව බාරකාර කමිටුවේ සභාපති. මම දන්නෙ නැද්ද පන්සලකට යන විට ක්‍රියාකරන ආකාරය. ඒවා මට හොඳට පුරුදුයි. ඒ ගැන මම හොඳට සැලකිලිමත් වෙනවා. මෙතනදි වුනේ මේකයි. ඒක ස්ටාටින් පොයින්ට් එක. ඒ වෙලාවේ මහ වැස්ස. සපත්තු ගලවන්න මම හැරෙන්න හැදුව විතරයි.

ප්‍රශ්නය - ඔබතුමා කියන්නෙ සපත්තු ගලවන්න කලින් පින්තූර ගත්තා කියලද?

පිළිතුර - ඔව් ඒක නේන්නම් මම කියන්නේ.

ප්‍රශ්නය - එතකොට සළපතල මළුවට ඇතුළුවන්නට කලින්ද ඔබතුමා සපත්තු ගලවන්න හැදුවේ?

පිළිතුර - ඔව් ඔව්. මම දන්නෙ නැද්ද එහෙම තැනකට යන විදිය.

මේ අතර දිසාපති සෙනෙවිරත්න මහතා හෙට (17) සිට පුත්තලමට මාරු කරනු ලැබ සිටී. එහෙත් එම මාරුව හා මෙම සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැති බව දැනගන්නට ඇත.

web-1

මහ දිසාපති සමග කිරිඇල්ල සපත්තු නැතුව 

web-2

භාරත නායක මෝදි සපත්තු නැතුව