දිස්ත්‍රික්ක 13කට කොරෝනා පැතිරිලා


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා පොකුරත් සමඟ, මේ වනවිටත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13කට වයිරසය ව්‍යාප්ත වී ඇති බවත්, සෙසු දිස්ත්‍රික්ක වෙතද වයිරසය ව්‍යාප්තවීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

ඒ අනුව මේ වනවිට කොරෝනා ආසාදිතයන් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල සහ ගම්පහ පෙදෙස්වලින් වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව මාළු වෙළෙන්දන් 49දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීම හේතුවෙන්  දිවයින පුරා මාළු වෙළෙන්දන්ට ද වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව වැඩි බවත් සමරවීර මහතා පැවසීය.
   
''පෑලියගොඩ මාළු වෙළඳසැලට සැපයෙන මාළු  මුළු රටටම මාළු බෙදාහරිනවා. මාළු වෙළෙන්දන්ගෙන් සහ දිවයිනෙන් බැහැරට මාළු ගෙන යන ධීවරයන් ඇසුරු කළ පිරිසට වයිරසය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.  

එනිසා පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගත් වෙළෙන්දන්, තමන්ට වයිරසය ආසාදනය වීමේ රෝග ලක්ෂණ පහළවෙනවාදැයි සැලකිලිමත් විය යුතුයි'' යැයිද වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

(16844)

(ඡායාරූප - ළහිරු හර්ෂණ )