(කාංචන කුමාර ආරියදාස)
ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති.
ප්‍රවාහන පහසුකම්, ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙම පාසල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇත. එතරම් දුෂ්කරතා මැද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් තිදෙනා ඉහළින්ම දක්ෂතා දක්වා ඇත. හැම දරුවෙක්ම ලකුණු සියයේ සීමාව පන්නා ඇත.
ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දියකැපිල්ල ප්‍රාථමික විදුහල දශක හතරක සිට දරුවන්ට සිප් සතර කියා දෙයි.
එක වසර සිට පහ වසර දක්වා මෙහි පන්ති පැවැත්වේ.
මේ වන විට මේ පාසලේ මුළු සිසුන් සංඛ්‍යාව නමයකි. පහ වසර පන්තියේ දරුවන් තිදෙනෙකි. කිසිදු උපකාරක පංතියකට නොගොස් විදුහල්පති තුමිය සහ තවත් ගුරුවරියක් විසින් ඉගැන්වීම් කටයුතු කොට පහ වසර ශිෂ්‍යත්වයේ ලකුණු එකසිය තිස් නමය, එකසිය විසි අට ,එකසිය අට, ප්‍රමාණයෙන් ලබාගෙන ඇති බව මව්පියෝ පෙන්වා දෙති
එවැනි දක්ෂ ලෙස ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙන පාසලේ තවත් දින කිහිපයකින් පහ වසරේ පන්තියේ සිටින සිසුන් තිදෙනාම ඉවත්ව යන්න බවත් වීවිධ හේතූන් සහ පංතියේ තනිවම සිටීමට නොහැකි බව ප්‍රකාශ කරමින් තවත් දරුවන් තුන් දෙනෙකු වෙනත් පාසලකට රැගෙන යෑමට එම මව්පියන් තීරණය කර ඇත.
එසේ වූ විට පාසලේ ඉතිරි වන්නේ තවත් දින කිහිපයකින් දරුවන් හතර දෙනකු පමණක් බව මව්පියෝ පෙන්වා දෙති
දියකැපිල්ල ගම්මානය පිහිටා ඇති දඹුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් විශාලතම ග්‍රාම නිලධාරී වසම වන මයිලත්තෑවේය.
සීගිරිය සිට කිලෝමීටර් තුනක් පමණ කැලෑ බඳ ප්‍රදේශයකට වන්නට මෙම ගම පිහිටා තිබේ. මයිලත්තෑව සිට පාසලට ගමන් කිරීමට කිලෝ මීටර් හයක් හතක් පමණ තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
එම ප්‍රදේශවලින් දරුවන්ට දියකැපිල්ල පාසලට ගමන් කිරීමට කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැත. ගමට පිවිසුම ඇති ප්‍රධාන මාර්ගය පවා දැඩි ලෙස අබලන්ව පවති. දිවා කාලයේ පවා වන අලින් ගැවසෙන බව මව්පියෝ පෙන්වා දෙති