දින 12 කදී උප්පැන්න සහතික 4,191 ක් නිකුත් කරේ



(සිරංගිකා ලොකුකරවිට)

උප්පැන්න සහතික නිකුත් කිරිමේ කඩිනම් සේවාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කිරීමත් සමග දින 12ක් ඇතුළත දී උප්පැන්න සහතික 4,191 ක් නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොළඹ බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් උප්පැන්න සහතික නිකුත් කිරිමේ කඩිනම් සේවාව ලබාගත් පුද්ගලයන් අතර යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, හම්බන්තොට, මොණරාගල ඇතුළු සියලුම දිස්ත්‍රික්කයන් හි පුද්ගලයන් සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.  

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ දිනකට උප්පැන්න සහතික ලබාගැනීමට 400ත් 500ත් අතර ප්‍රමාණයක් මෙම කඩිනම් සේවාව ආරම්භ කිරීමෙන් පසු රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයට පැමිණෙන බවයි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

''පුද්ගලයකුට ඉතාමත්ම වැදගත් ලේඛන අතර උප්පැන්න සහතියට ප්‍රධාන තැනක් හිමිවෙනවා. මේ උප්පැන්න සහතික මුල් පිටපත් තිබෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. මින්පෙර පුද්ගයකුට උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමට නම් තමන් උපන් ප්‍රදේශයට යාමට  සිදුව තිබුණා.

නමුත් අපි ඒ ක්‍රමය වෙනස් කළා. 1960 සිට 2012 දක්වා උපත ලැබූ ශ්‍රී ලංකාවේ සියලුම පුද්ගලයන්ගේ උප්පැන්න සහතික  පිටපත් පරිගණක දත්ත ගබඩාවකට ඇතුලත් කරලා තිබෙනවා. ඒ අනුව දැන් කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් මේ රටේ ඕනෑම තැනක උපත ලැබූ පුද්ගලයන්ගේ උප්පැන්න සහතික පිටපත් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මේ සේවාව ආරම්භ කරලා ගත වූ දින 12 ක කාලයේ දී අති විශාල පිරිසක් එම සේවාව ලබාගෙන තිබෙනවා. ඒ අනුව පැහැදිලියි මෙවැනි සේවාවක දැඩි අවශ්‍යතාවක් රටට තිබූ බවයි."