
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) සිදු විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාවෙි සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී නොහැකි විය.
එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරිණි.
එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලයේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කෙරිණි.
එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි.

