(මනෝප්‍රිය ගුණසේකර)
ගර්භනී තත්ත්වයෙන් පසු වු බිරිඳ රෝහලට ගෙන ගිය අවස්ථාවේ පාසල් ගිය දියණිය නිවසට ගෙන ඒමට බාරකළ ලඟම හිතවතෙකු 07 හැවරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ බවට ඔප්පු වීම නිසා කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ගැහැණු දරුවන් පස්දෙනෙකුගේ පියෙකු වන 62 හැවරිදි විත්තිකරුවකුට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (23) නියම කළේය.
කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී ඇති වකවානුවක අහිංසක දැරියකට කළ අපරාධයට ලිහිල් අන්දමින් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව අවධරණය කළ විනිසුරුවරයා ගැහැණු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගෑනු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබියදී කළළ මෙම අපරාධය බරපතළ එකක් බව අවධාරණය කරමින් විත්තිකරුට දඬුවම් පැමිණවීය.
විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවමට අමතරව රුපියල් 30000/- ක දඩයක් නියම කළ විනිසුරුවරයා වින්දිත දරියට රුපියල් ලක්ෂ තුනක්ද දැරියගේ මවට රුපියල් ලක්ෂයක වන්දි වශයෙන් ගෙවීමටද නියම කළේය.
දඩ සහ වන්දි මුදල් ගෙවීම පැහැර හැරියහොත් වසර 17 ක සිරදඬුවමට අමතරව තවත් වසර දෙකක සිර දඬුවම් නියම කළේය.