(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුවියක මියයෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නීතිවිරෝධීව" ඉදිකර ඇති බැවින් ඊට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
එම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකරන ලද එකක්දැයි යන්න කඩිනමින් විමර්ශනය කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාට නියෝග කර තිබුණි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලය විසින් අදාළ හෝටලය පිළිබඳව විමර්ශනය කර මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර ඇත.
2010 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම හෝටලයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේදී අවසන් කර ඇති අතර මේ වනවිට එය ලැඟුම්හලක් සහ ආපනශාලාවලක් වශයෙන් පවත්වාගෙන යන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.
මෙම පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ ගොඩනැගිල්ල ඉදිකිරිමේදී අනුමත උපරිම බිම් කට්ටි සැලැස්ම ඉක්මවා ඇති බවයි.
එමෙන්ම ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නොවීම,පිටුපස අවකාශය ආලෝකය හා වාතාශ්‍රය සදහා වන රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවද අදාළ පරීක්ෂණ වාර්තාවේ සදහන්ව ඇත.

