බලාපොරොත්තු, අධිෂ්ඨානය, කැපවීම අපගේ සිහින සහ ප‍්‍රාර්ථනාවන් ඉටුකර දෙනවා. එයට දිගු කාලීන ඉවසීම අත්‍යවශ්‍යයි. තෙල්දෙණිය ආසනයේ බෝබැබිල ගමේ ඉපදී මැණික්හින්න මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාල ඉන්දික මධුරගේත් එසේ සිහින සඵල කරගත්තෙක්.
පාසල් කාලයේ සිටම රංගනය සිහිනයක් කරගත් ඔහු පාසල් වේදිකාව සිය හැකියාව පෙන්වීමේ මාර්ගය කරගත්තා. පාසල් අධ්‍යාපනයෙන් පසු සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් ප‍්‍රතිභාපූර්ණ කලාකරුවාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ටෙලිපති නම් රංගන පාඨමාලාව හැදෑරුවා. එහිදී උදෑසන බසයට නගින ඔහු කොළඹට පැමිණ අධ්‍යයන කටයුතුවල නිරත වී ආපසු නුවර බලා පිටත් වූයේ ?බෝ වෙලා. ඇතැම්විට ගමට යන අවසන් බසයත් නොමැතිව පයින් දුරගෙවූ අවස්ථා එමටයි. එවන් වූ කැපකිරීමක් කළ ඉන්දික පළමු වරට සිය රංගන කුසලතාව පිරික්සන්නේ ජේ.ඞී.ඒ. පෙරේරා මහතාගේ 21 ශ්‍රී වේදිකා නාට්‍යයෙන්.
1999 වසරේ සුදත් සේනාරත්න අධ්‍යක්ෂණය කළ වරිච්චි බිත්ති ටෙලි නාට්‍යයේ ආනන්ද චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීම වුණා. ඔහුට ඊට අවස්ථාව ලබා දුන්නේ එහි සහාය අධ්‍යක්ෂ වූ අනුර වරාගොඩ මහතා. ඉන්පසු ටෙලිනාට්‍ය කීපයකම සහායක චරිත සහ වෙළෙද දැන්වීම්වලට පෙනී සිටි ඔහු වත්මනේදි රාහුල හාමුදුරුවන්ගේ චරිතයෙන් පේ‍්‍රක්ෂක ඔබ හමුවෙනවා. ඒ පිළිබඳව සිඳු ටෙලිනාට්‍ය සරසන රාහුල හාමුදුරුවෝ සඳැල්ල අපිට තොරතුරු දැක්වූයේ මේ ආකාරයට.
සිඳු ටෙලිනාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නේ ?
සිඳු ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂ ප‍්‍රදීප් මාණවඩු මහත්මයා මට කතා කළා. එහි නිෂ්පාදකවරයා මාව ඉන්ටවීව් කරලා තමයි තෝරාගත්තේ.
රාහුල හාමුදුරුවන්ගේ චරිතයට ඔබ හැඩගැහුණේ කොහොමද ?
තිළිණ බොරලැස්ස තමයි සිඳු නාට්‍යයේ අධ්‍යක්ෂ. ඔහු මීට පෙර මට මුණ ගැසී තිබුණා. එයා එයාගේ සිතේ තිබුණ චරිතය මා තුළින් එළියට ගත්තා. ඔහුගේ මඟපෙන්වීම යටතේ තමයි චරිතය ගොඩනගාගත්තේ.
සිඳු ටෙලිනාට්‍යට භාවිත කළ දර්ශන තල පිහිටියේ කොහේද ?
කුරුණෑගල, පොල්පිතිගම කැබැල්ලෑ ලෙන කියන පරණ පන්සලක් සහ හොරණ ප‍්‍රදේශයේ පොකුණුවිට රජමහා විහාරයේ ඇති ගල්තලාවකයි රූගත කිරීම් කළේ.
රාහුල හාමුදුරුවන්ට තිබුණ අභියෝග මොනවාද ?
පළවෙනි අභියෝගය තමයි චූටි හාමුදුරුවන් සමඟ කොහොමද චරිතය පාලනය කරගෙන යන්නේ කියන එක. අපිට වැරදුනොත් එයාට වැරදෙන්න ගන්නවා. ඒ නිසා මට චරිතයට අනුගත වෙන්න සිදුවුණා. දැන් ගොඩක් පහසුයි. එයා ගොඩක් දක්ෂ දරුවෙක්. එයා කොච්චර දඟකර කර හිටියත් රූගත කරද්දි එයාගේ චරිතයට ඉක්මනින්ම ප‍්‍රවිශ්ට වෙනවා.
ඉදිරියේදී රාහුල චරිතය මොනවගේ වෙයිද ?
මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ 108 වැනි කොටසේ සිට. ඊට පෙර චූටි හාමුදුරුවෝ නිසා ටෙලිනාට්‍යය ආසාවෙන් බැලූවා. එහිදී මට හිතුණා ලොකු හාමුදුරුවෝ සහ චූටි හාමුදුරුවෝ අතරට තව කෙනෙක් හිටියා නම් හොඳයි කියලා. ඒත් කවදාවත් හිතුවේ නෑ මට ඒ චරිතය හම්බවෙයි කියලා. ඒත් එය මට ලැබුණා.
ඒ චරිතයේ හැටියට රාහුල හාමුදුරුවෝ භවනානුයෝගී හාමුදුරු කෙනෙක්. ඒත් ගල්ලෙන තුළ එසේ භාවනා කිරීම නිධන් හොරුන්ට කරදරයක්. ඒ නිසා ඔවුන් රාහුල හාමුදුරුවන් එළවන්න උත්සහ ගන්නවා.
රාහුල හාමුදුරුවෝ ලෞකික ජීවිතයෙන් ඈත්වෙන්න උත්සහ කළත් ලොකු හාමුදුරුවන්ට ඇතිවන තාඩන පීඩන හමුවේ නිරායාසයෙන්ම ඒවාට මැදිහත් වීම සිදුවෙනවා.
සිඳු කතාව තවත් දිගු වෙනවද ?
මෙය කොටස් හැට ගාණකින් ඉවරකරන්න හදලා තිබෙන්නේ. ඒත් පොඩි හාමුදුරුවොත් එක්ක කතාව ගොඩක් ජනප‍්‍රිය වුණා. ඒ නිසා එය කොටස් 100 දක්වා දිගුවෙන්න හේතුවුණා. දැන් කතාව අංක එකට ඇවිත් තිබෙනවා. ඒ නිසා තවත් ඉදිරියට කතාව ගලාගෙන යයි.
ඔබට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
මීට පෙර රංගනයට දායක වෙලා තිබුණත් මිනිස්සු මාව දැනගෙන හිටියේ නෑ. ඒත් සිඳු කතාවෙන් පසුව සෑහෙන්න හොද ප‍්‍රතිචාර ලැබෙනවා.
මේ දවස්වල මොකද කරන්නේ ?
සිඳු රූගත කිරීම්වලට සහභාගී වෙනවා.
ඊට අමතරව සුරංග ද අල්විස්ගේ කිඞ්නැප් කියන සිනමාපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් යාළුවෙක්ගෙ චිත‍්‍රපටියකට දායක වීමට දින දී තිබෙනවා.
ඉදිරි සැලසුම් මොනවාද ?
පුංචි කාලේ ඉදලා තිබුණ ලොකුම හීනය තමයි රංගන ශිල්පියෙක් වෙන එක. වසර 20ට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් කැපවුණා. අනාගත බලාපොරොත්තුවත් සාර්ථක රංගන ශිල්පියෙක් වෙන එක.
දැන් ජීවිතේ ගැන මොකද හිතෙන්නේ ?
ලොකු සතුටක් දැනෙනවා.
කුමාරි හේරත්



